Followers

Sunday, July 17, 2011

මානවසිංහ සාමනේර නමට රූබර වංග තරුනිය කතරගම වනයේ ගංතෙරකදී හමුවෙයි, William Wordsworth of Sri Lanka according to some..


 Sri Chandrarathna Manavasinghe

These photos are from internet resources



Edgar Allan Poe






කතරගම දෙවියන්ට භාරයක් ඔප්පු කිරීමට ඉන්දියාවේ සිට මෙහි පැමිනි වංග පවුලක් එකල සෙල්ල කතරගම පදිංචිව සිටියේය. ඔවුන් අප සාමනේර නමට මුනගැසුනේ මෙසේ ඉබාගාතේ ඇවිද යන අතරතුරය. තාරුන්යයේ දොරකඩට පාතබා උන් සාමනේර නම ඔවුන් වෙතින් ලද ආන්නදය පසුකලෙක සටහන් කර තැබුවේ  මෙසේය.


"කුඩා කතරගම නමින් දන්නා එහෙත් ගමක් හෝ ගෙයක් නැති
වනපෙතෙහි ගල් තලා උඩින් සෙමින්  දිවෙන දිය රැල්ලෙන්
 දැකුම් කලු වූ ගංතෙරෙහි උස්බිම මත එකල කුඩා අසපුවක් විය.
 සියුමැලි ඇඟිලි සිතාරයේ තත් උඩ දුවවමින් විරාම ලීලා සහිතව ගීත ගෝවින්දයේ සකු ගී වයමින් සිටි වංග සිරිමතිය දක්නට ලැබුනේ මෙහිදීය. පැරනි මිහිරි සකු ගීවල රසය සිත් පුරා විඳිනට අවස්තාව සැලසුනේය. ඉන්පසු බෝහෝ දිනයන්හි ඉර මුදුන් සමයේ කුඹුක් තුරු යට හීල් හෙවනේ සිහින් වැලි තලාවේ පලිඟු දියවැල අයිනේ හිඳගෙන සිතාරය වයමින් කියන ඇගේ සකු ගීවලට සවන් දී සිටි මගේ නෙත් සුවදායක ලෙස පියවීගියේය..
දුර්වාසස්ගේ ශාපයෙන් මිහි බට සරස්වතී දේවියගේ දන්ඩාකරණ්යයෙහි සෝණ නදී තීරයෙහි ලිය මඩුල්ලේ ළපලු සයනයේ අභිරමණය කළ ලීලාව මවා පාමින් ඒ වංග සුන්දරිය මට හර්ශ චරිතය ඉගැන්වූයේ ඇසින් හිසින් අතින් මුවින් හැඟුම් නිරූපන කිරීමෙනි.  මට පෙනුනේ සෝන ගංතෙර සරසවිය ඇයම බවය.  ඈ නිසා මම සංස්කෘත කාවන්යහි රසවත් ජවනිකාවලට පිවිසුනෙමි. වේද කතා උගතිමි"
පොත් රාක්කයේ කලක සිට තිබුනත් කියවන්නට නොලැබුන පොතක් වන , වන සුනිල් ආරියරත්න කෘතියක් වන මානවසිංහ ගීත නිබන්ධන කියවන්න පටන් ගත්ත. ඉහත දැක්වෙන්නේ ඒ කෘතියෙන් උපුටා ගත්තක්.

මගේ පොත් එකතුවට දැනට දෑවුරුද්දකට පමන පෙර එකතු වූ කියවන්න ගත්තත් බර ඉංග්‍රීසි නිසා පසුව කියවනවා යයි සිතා එහිම තියෙන්නට ඇරිය  Edgar Allen Poe ගේ කෘති එකතුව පිටු 653කින් යුතු විශාල පොතක්. ඉතින් මේ එඩ්ගාර්ත් බොහෝම දුක් වින්ඳ චරිතයක්. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ (1913-1964)ජීවිතය ගැන කියෙව්වම මට හිතුන මේ අපේ එඩ්ගාර් ඇලන් පෝ (1809-1849)නේද කියල,  ඒ වගේමයි ලෝක ප්‍රසිද්ද චිත්‍ර ශිල්පී වෑන් ගොෆ් ජීවිතයේ තමනට විඳින්නට වු අපමන දුක් ගැහැට, වෙනස්වීම, පුදුම එලවන සුලුය. 


තරුන මානවසිංහයන් මිනිමැරුමකට අසුවේ යයි බියෙන් සැඟවී සිට පොලිසියට කොටුවී ඇත.හඳුනාගැනීමේ පෙරට්ටුවේදී සිය හොඳම මිතුරා මිනිමැරුමට කොටුවිය, මානවසිංහයන් නිදහස් විය.
දෙවරක් මහණ වී ඇත .  Edgar Allen Poe අවුරුදු 40යි ජීවත් උනේ,


'The Raven' is one of his popular poems of 18 sections, following is the first one.


once upon a midnight dreary, while I pondered weak and weary
over many a quaint and curious volume of forgotten lore-
while I nodded nearly napping, suddenly there came a tapping,
As of some one gently rapping, rapping at my chamber door.
" Tis some visitor," I muttered, "tapping at my  chamber door-
                                                                  Only this nothing more."


අපේ මානවසිංහ ජීවත් උනෙත් යන්තං අවුරුදු 51යි.(1913-64)
 දුක් විඳපු විඳින චරිත, ලෙඛකයෝ කලාකරුවෝ ඕන තරම් ඉන්නව,
ජී බී සේනානායක, සුනිල් මාධව, ප්‍රේමකීර්ති නම් වැල කෙලවරක් නැහැ.


තවත් සිත් සසල කරවන ශාරීරික මානසික දුක් ගැහැට වලට බඳුන් වූ කලාවට සම්බන්ධ නැතත් ඇය ගැන පොත් පත් රාශියක් පලවී ඇති චරිතයක් තමයි පූලාන් දේවි, ඇය උසස් යයි සම්මත ඉන්දියානු කුලවලින් පැවත ආ,, හිංසකයන්ගෙන් පලිගත්තා, එහෙත් මානවසිංහයන් එය මානවභක්තියකට හරවා ගත්ත

ජාතික ගීය ගැන
සුනිල් ආරියරත්න මහචාර්ය තුමාගේ එ කෘතියෙ සඳහන් මේ කොටසත් මගේ සිත් ගත්තක්. හැබැයි මම මානවසිංහ සමගින් නම් එකඟවන්නේ නැත.

"ජාතික ගීය තරම් මානවසිංහ අප්‍රිය කල තවත් ගීයක් නොවීය. ඔහු එය හැන්දින්වූයේ පරණ බෝ කොටුවක් අසලින් ඇසෙන නාකි උපාසකම්මලාගේ ගාතාවක් ලෙසිනි" එහෙත් සමරකෝන්ගේ සෙසු ගීත වලට ආදරය කල මානවසිංහ.............."(ලංකාදීප 1957 අප්‍රියෙල් 30, පිටු 6)-----------මානවසිංහ ගීත නිබන්ධන පිටු 13

ජාතික ගීය ලෙස සමරකෝන්ගේ ගීතයක් තෝරාගැනීමට ජේ ආර් උද්යෝගිමත්වත්ව මුල්වීම හා එහි වචනයක් වැරැද්දක් නිසා සමරකෝන්ගේ සිය දිවි නසාගැනීමත් අප ජාතික ගීයෙ පසුබිමේ ඇති තව කතන්දරය.

මානවසිංහ, කුඩා කතරගම් වනයේ හමු වූ රූමතිතියගෙන් කොපමන ආනන්දයක් ලැබුද අවසානයේ විවාහ වූයේ මාතර කපුගම ශ්‍රීමති වසන්තා කුමාරි හේවාකලුගමගේ මෙනවිය සමගය.
-------------------------------------------------------------------------------------------------------
මානවසිංහයන්ට  වංග රූමතිය හමුවූ දණ්ඩකාන්යක්ද සෝණ නදී තීරයක්ද වූ සෙල්ල කතරගම් වනාන්තරය දයල් බතීටත් ඔහුගේ පියාටත් නියමාර්තයෙන්ම දණ්ඩකාරන්යක් වූ සැටි අනාගත ලිපියක.

--------------
added on 21/6/13
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ නම්වු උතුම් මිනිසා

(2013.06.19 වන දිනට යෙදී ඇති
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙනි.)

පළමුව සිනා සී එසැනින් හැඩූ මිනිසෙකු අපට මුලින්ම හමු වන්නේ බුදු සිරිතේය.

ඒ අසිත තවුසන්ය. ළදරු සිදුහත් කුමරුගේ අඟ පසඟ දුටු ඔහු කුමරු බුදු වන බව දැක පළමුව සිනාසිනි.

ඒ වන විට මහලු තමන් මිය ගොස්‌ ඇති බැවින් බුදුවරයකු දක්‌නට අවස්‌ථාව නොලැබෙන බැවින් හැඬූ බව අසිත තවුසන් කීහ.

අසිත තවුසන්ට මෙන් තුන්කල් දක්‌නා නුවණක්‌ නැතත් මෙයද සිනාසීමටත් එසැනින් හැŽමටත් කරුණු වූ අත්දැකීමකි.

යමෙකුට තම පළමු ගුරුවරයාගේ සියවස්‌ ජන්ම දිනය සමරා ගුණ සමරුවක්‌ ලිවීමට ලැබීම සතුටට කරුණකි. එහෙත් ගුරුවරයා දිවි සංවත්සරය සමරන දා ඔහු ජීවතුන් අතර නොසිටීම එතරමටම සොවට, කනගාටුවට කරුණකි. මේ ගුරුවරයා ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ය. ඔහු ජන්ම ලාභය ලැබුයේ මීට අවුරුදු 100 කට පෙර 1913 ජූනි 19 වන දාය.

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ගී පබැදු "රන්මුතුදූව" චිත්‍රපටය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ තිදෙනා එදා මෙලෙස හමුවිය. මානවසිංහයන්, එහි ගලනි ගඟකි ජීවිතේ... ගීතය ගැයූ විශාරද නන්දා මාලනිය සහ සම්මානනීය ගායන ශිල්පී නාරද දිසාසේකරයන්ද මෙලෙස හමුවූවේ සරසවි සම්මාන උළෙලේ දීය.

ඔහුගේ අවසන් සිසුවා යෑයි හැඟෙන මගේ මතකය නිවැරැදි නම් ශ්‍රී චන්ද්‍රරතන මානවසිංහ ශූරීන් දිවි සැරිය අවසන් කරන විට පනස්‌ විය වත් සපුරා නොතිබිණි.

තවමත් මසිත ජීවත්වන මගේ පළමු ගුරුවරයා හෙවත් ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් පිළිබඳ මසිත කිසිදා නොමැකෙන සිතුවමක්‌ වේ.

ඔහුගේ මුව මඬල පුරා සඳ මඬල සේ පැහැපත්ය.

ඔහු සමවන් දසන් පෙන්වා මහ හඬින් සිනාසේ.

නොඋස්‌, නොමිටි එතුමන්ගේ උඩු කය වැසී ඇත්තේ ශ්‍රී නේරු තුමන් පළඳින ආකාරයේ දිගු ලෝගුවකිනි. යටිකය දළ නොවූ වේට්‌ටි පොටක පහස ලබයි. එවක ගමක හැඩරුව ගුණ නොමැකී බොරලැස්‌ගමුවේ සරල නිවහනක පැවති උත්සවයක්‌ යෑයි කිව හැකි සොඳුරු අවස්‌ථාවක්‌ අදටත් මගේ මතකයේ පවතී.

පෙරදිග අහස මත යාන්තමින් ලා අරුණැල්ලක්‌ තැවරිලාය. දැල්වුණු කපුරු පෙති වලින් සුගන්දවත් වූ කුඩා කුටියක සරස්‌වතී දෙවඟනගේ රුව අභියස මම හිඳන් වුණිමි.

ජීවිතයේ මුල් වරට මා අකුරු කියවූයේ එදාය.

අතිශය පැහැදුල් ඒ උදැසන මට ජීවිතයේ මුල් වරට අයන්න කිය වූ ඒ මහ පුරුෂයාගේ ප්‍රසන්න මුහුණුවර දශක ගණනාවකට පසුව අදත් මසිත ජීවත් වේ.

එතුමන් හැඳින්වීමට ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ යන නාමකරණය හැරුණුවිට අන් කිසිදු අටුවාටීකාවක්‌ අවශ්‍ය නොවේ.

තුරුණුවියේ පටන් මානවසිංහයන් ජීවත් වූ බොරලැස්‌ගමුවේ ම උපන් මගේ පියා දෙවන ලෝක යුද සමයේ පළමුව ආරක්‍ෂාව පතා රත්නපුරයට පැමිණ පසුව එහිම පැලපදියම් වූවෙකු විය.

බොරලැස්‌ගමුවේ ජී. එච්. පෙරේරා සහ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ නමැති දැවැන්තයින් දෙදෙනා සමීපව ඇසුරු කළ ඔහු යම් දිනෙක සිය පුතුණුවන්ට සම්භාවනීය මිතුරකු වූ මානවසිංහයන් වෙතින් අකුරු කිව යුතු යෑයි සිතුවා විය හැක.

ව්‍යාපාරිකයෙකු වූ අපේ තාත්තා සියලු වැඩ නිමවා මැදියම් රැයට එළඹෙන තුරු කුඩා දින පොතක කුරුමිණි අඬු වැනි අකුරු වලින් යම් යම් සඳහන් සටහනක්‌ කරනු මම දැක ඇත්තෙමි.

ගනුදෙනු පිළිබඳ අප්‍රමාණ උනන්දුවක්‌ දැක්‌ වූ අපේ තාත්තා පුදුමයට මෙන් පෙර කී මහා කවීන් දෙදෙනාගේ කවි ගී ඇතුළු අනෙකුත් නිර්මාණයන් පිළිබඳ සටහන් කරන ඉලක්‌කම්වලට වඩා ආලවන්තයෙකු විය.

එම මහා කවීන් දෙදෙනා හා ඔවුන් ඇසුරේ වැඩුණු අප්‍රමාණික රස පුවත් පිළිබඳ අපේ තාත්තාගේ මතකය මතක බැංකුවකට සරිවේ.

රත්නපුරේ නිත්‍යවාසීන් වුවද බොරලැස්‌ගමුවේ උපන් ගම හා නොබිඳුණු සබඳකම් පැවැත්වූ තාත්තා ඉඩ ලද මොහොතක අපද කැටිව නෑගම් යන විට නොවරදවාම බොරලැස්‌ගමුවේ මානවසිංහ නිවසට ගොඩවයැමට අමතක නොකළේය.

අප ඒ ගමන් ගියේ ගුණපාල මුදලාලිගේ සුදු පැහැති බේබි ඔස්‌ටින් කාරයෙනි.

රත්නපුරයේ සිට බොරලැස්‌ගමුවට ගොස්‌ ආපසු රෑ මැදියම රත්නපුරයට පැමිණෙන ඒ ගමනට අය කළ කුලිය රුපියල් 40 ක්‌ හෝ 50 කි. එහෙත් එම කුලියෙන් කියක්‌ හෝ අඩු කර ගැනීමට කාරයෙන් බැස මහ රෑ තවත් විනාඩි හට අටක්‌ ගුණපාල මුදලාලි හා තර්ක විතර්ක කිරීමේ පුරුද්දක්‌ අපේ තාත්තාට විය.

අප ඒ දවස්‌වල සිටියේ රත්නපුර නගරයෙන් සැතපුම් හත අටක්‌ ඉහත්තාවේ ගලබඩ නමැති හද්දා පිටිසර ගම්මානයක ආච්චි අම්මාගේ නිවසේය.

සුද්දන් සතු දැවැන්ත තේ වතුයායෙන් තුන් පැත්තකින් වට වූ අර්ධද්වීපයක්‌ වැනි ඒ හුදෙකලා පාළු ගම්මානයේ එක්‌ කඳු තුඩක පිහිටි ආච්චි අම්මාගේ නිවස එදා සිරිකතගේ වාස භවන සේ වීය.

තේ වතුයාය සහ ආච්චි අම්මලාගේ ඉඩම වෙන් වූයේ මහතුරු පෙළකින් යුතු අපූරු වැට මායිමකිනි.

ඒ තුරු පෙළින් බොහොමයක්‌ අඹ සහ කොස්‌ ගස්‌ය. වරෙක ආච්චි අම්මලාගේ නිවසට පැමිණි මානවසිංහයන් වැට මායිමේ ඇතුළු වත්ත පිටිය පුරා විවිධ ගහ කොළ වලට පැරැන්නන් තබා තිබූ නම් ගොත් විමසමින් මහත් සොම්නසක්‌ විඳි අයුරු මේ දැන් වගේ මට මතකය.

තවත් වකවානුවක අප ගලබඩටත් වඩා හද්දා පිටිසර ගමක පදිංචිව සිටියෙමු. ඒ දෙනවක ගහ සහ ඔවල මූකලාන අසල පිහිටි බෝපැත්තයි.

අපේ පුංචි ගෙදරට එක්‌ දිනක්‌ රාත්‍රියේ මානවසිංහයන් පැමිණියේ ප්‍රින්ස්‌ ගුණසේකර හා පියල් වික්‍රමසිංහ වැනි එදා ලංකාදීපයේ කටයුතු කළ තවත් පත්තර යෝධයින් දෙදෙනකුද සමඟය.

එහෙත් ඔවුන් එදා බෝපැත්තට පැමිණියේ ලෙල්ලුපිටිය හරහා වැටී ඇති පාර දිගේ නම් නොවේ. මුලින්ම ගලබඩට පැමිණ අප ආච්චි අම්මලාගේ ගෙදර නොමැති බැවින් ඔවුන් අඩිපාරවල්, ඒදඬු, කම්බි පාලම් සහ වංගගිරි පසුකර පළමුව බඹරබොටු ගඟත් දෙවනුව දෙනවක ගඟත් තරණය කර බෝපැත්තේ අපේ නිවසට පැමිණෙන විට හොඳටෝම රෑ බෝ වී තිබිණි.

ඒ ඒ දිනවල දෙක හෝ තුන පන්තියේ ඉගෙනුම ලැබූ කුඩා දරුවෙකු විය. අපේ තාත්තා පිරිස සමග බරසාර කතාවක පැටලිලාය.

එ පිළිසඳරේ හඬ මඬිමින් අප නිවහනට හූවක දුරින් දෙනවක ගඟට ඔබ්බෙන් ඔවල මූකළානේ තනි කොටියාගේ ගෙරවිලි හඬ ඇසේ.

ඉන් බිය පත්වූ ලේකම් ආතාගේ ගව රැල ගුරු පාර දිගේ හිස්‌ ලූ ලූ අත දුවයි.

අපේ ගෙදරටම තිබුණේ නො. 19 වශයෙන් හැඳින්වෙන වර්ගයට අයත් චිමිනි ලාම්පුවකි. එම පැරැණි ලාම්පුවෙන් පෙරී ආ දුබල කහ පාට එළියට වඩා මානවසිංහයන්ගේ වටකුරු සඳවන් මුහුණේ වැඩි ආලෝකයක්‌ විය.

මානවසිංහ මහත්මයා ලංකාදීපයේ තවත් පිරිසක්‌ සමග අප නිවසට පැමිණි ආරංචිය අසා අපේ ලොකු ඉස්‌කෝලේ මහත්තයා වූ වැලිකන්නේ මහත්තයත් අපේ අම්මාට අමතරව බෝපැත්තේ ඉස්‌කෝලේ ඉගැන්වූ මුදුන්කොටුවේ නෝනා මහත්මියත් අපේ ගෙදරට පැමිණියහ.

සියල්ලට සාද සංග්‍රහ කිරීමට මදිපාඩු පීරිසි කුට්‌ටම් පිඟන් ඇතුළු අඩුම කුඩුම ගෙන ඒමට වරක්‌ නොව කීප වරක්‌ම අප්පු අයියාගේ ගෙදරට ගෑටීමට මට සිදු විය. ඒ අතරතුර අප්පු අයියාගේ අම්මා එනම් පිස්‌සු ආච්චිට ද මේ ආරාධිතයන් පිළිබඳ යන්නේ කොහෙද මල්ලේ පොල් මාදිලියෙන් පිළිතුරු බැඳීමට මට සිදු විය.

රන්මුතු දුව චිත්‍රපටිය සඳහා පිපී පිපී රේණු නටන ගීතය මානවසිංහයන් රචනා කළේ මෙසේ අපේ ගෙදරට එතුමා පැමිණ ගොස්‌ වසර දෙකක තුනකට පසුවය.

එම ගීත ජවනිකාවන්ට පෙනී සිටියේ බෝපැත්තට අල්ලපු ගම වූ ලෙල්ලෝපිටියේ ඉපිද අපේ ගම්මානවල කරක්‌ ගසා කොළඹට ආ ජෝ අබේවික්‍රමයන් වීම එක අතකින් දෛවෝපගත සිදුවීමක්‌ දැයි විටෙක මට සිතේ.

බෝපැත්තට මෙන් නොව ගලබඩ හද්දා පිටිසර ගම්මානයට මානවසිංහ මහතාත් එම මහත්මියත් බෙහෙවින් ඇළුම් කළහ.

ගලබඩ මහ ගෙදර සිට අඩිපාරවල් ජාලයක්‌ කඳු ඉස්‌මත්තට වැටී තිබිණි. ගමේ වියපත්ම මැහැල්ල වූ පුංචි එතනා ආච්චි ජීවත් වූයේ පේරියපල්ල ලෙසින් හැඳින්වූ බිම් තීරුවේය.

ඇය නැති විටෙක සූරියා යෑයි අපර නමකින් හැඳින්වීමට ගමේ කවුරුත් පුරුදුව සිටියහ. සියවසක්‌ පමණ වයසැති එහෙත් නොතලා කරුන්කා සමග බුලත් කන ඇගේ මුව වටා නොයෙක්‌ රේඛා වල රත්පැහැ බුලත් කෙළ විසිරී තිබුණේ හිරු මඬල හා ඒ වටා රන්වන් රේඛා පරිද්දෙනි.

පුවක්‌ ඇතුළු බව බෝගයන්ගෙන් පිරි ඒ නිසාම ගුලන ලෙසින් හැඳින් වූ අඳුරු බිම් කඩක්‌ එතැන සිට කඳු ඉහත්තාව තෙක්‌ පැතිරෙයි. ගුප්ත කතා රැසකට නිමිති වූ රාමීයක නමැති හැල දිය කඩිත්ත පසුකර අඩිපාරේ තව ටිකක්‌ ගිය විට ගම ගෙදර හමුවේ. කොතෙකුත් කවට බස්‌ දොඩවන ගෙදර ප්‍රධානියාගේ එක්‌ කකුළක ආබාධයක්‌ නිසා ඔහු ඇවිදින්නේ රුවිතයටය. එදා පොල් අතු සෙවිලි ගම ගෙදර ඉදිරිපිට මිදුල කුඩා අපගේ කෙළි මඬල විය.

පළාතම අඳුරු කරමින් නැගී සිටි යෝධ මැංගුස්‌ ගස්‌ පාමුල විටෙක මානවසිංහයන්ගේ රුව උත්තර භාරතයේ දෙව්රුවක්‌ සේ බැබළෙන අයුරු කුඩා මා විමතියට පත් කෙළේය. ඉන් මඳක්‌ ඔබ්බෙන් කොකෝ ගස්‌ පෙළකි. ඒ ආසන්නයේම වැසිකිළියක්‌ සහ කැසිකිළියක්‌ විය. වැසිකිළි බිතක්‌කනේ අපේ මාමා අඟුරෙන් සටහන් කළ හැටේ මහ මැතිවරණ ප්‍රතිඵල බොහෝ කලක්‌ යනතුරු නොමැකී පැවතිණි.

ගමන නොනිමෙයි ලෝකයේ මේ

පුරුදු ජීවන මං තලේ.....

වැනි සනාතන දහමින් හෙබි ගේය කාව්‍ය ඔහුගේ සිතේ පිළිසිඳුණේ මේ සොඳුරු එහෙත් අඳුරු අපේ මහ ගෙදර වටාපිටාව තුළ යෑයි සඳහන් කිරීම අහේතුකද නොවේ.

බොහෝ රෑ බෝ වී ගෙදර එන අපේ තාත්තාගේ දින චර්යාව මානවසිංහයන්ගේ අහඹු සම්ප්‍රාප්තියත් සමග උඩු යටිකුරු වේ. ආච්චි අම්මලාගේ නිවස පසුකර තේ වතු යාය තෙක්‌ තවත් අඩිපාරක්‌ වැටී තිබිණි.

කටුසු කොන්දක්‌ වන් එම අඩි පාර දෙපසින් සුවිසල් තේ වතුයාය නෙක බෑවුම් දිගේ ඈතින් ඈතට පැතිර යයි. ඩෝබි ලයිම ලෙසින් හඳුන්වන හුදෙකලා වතු පේළි නිවහනින් දුම් රොටුවක්‌ අහසට එසවේ. ඉඳහිට බල්ලෙකු බුරයි. මේ අඩිපාර අවසන් වන්නේ තේ වතුයායේ ප්‍රපාතයක්‌ අද්දරිනි. සෘතුවක්‌ හෝ කාල වකවානුවක්‌ නොමැතිව දැඩි සුළං හමනා ප්‍රපාතය අද්දර හුදෙකලා බෝධියක්‌ පිහිටා තිබිණි. කිසිවෙකු වන්දනාමාන නොකළ බොහෝ බෝධීන් අතර දක්‌නට නොලැබෙන තරම් සිරියාවක්‌ එම හුදෙකල බෝ මැඬ පා මුල විය.

ඇතැම් සැඳෑ කලෙක මානවසිංහයන් එම බෝමැඬ පාමුලට ගියේ මා සමගය. කොහොමටත් දඟකාර ඔහුගේ කෙහෙරැල්ල සුළඟට හසුවේ. ප්‍රසන්න ඒ මුව මඬල එවන් විටෙක මා දුටුවේ සොළොස්‌ කලාවෙන් පිරි සඳ මඬල සේය.

ඉතා පිරිසිදු වට මට ගල්කුළක්‌ මත ඈඳි ගන්නා ඔහු නිල්වන් තේ කඳු අතරින් පතර මතුව යළි පෙනී නොපෙනී යන සුදුවන් පීත්ත පටියක්‌ වන් ප්‍රපාතයේ පෙනෙන පාර දෙස බලා සිටී.

දළු ප්‍රවාහනය කරන ලොරියක්‌ දෙකක්‌ එම පීත්ත පටිය දිගේ පෙනී නොපෙනී යයි. ඒවායේ බඳෙහි වයි. එම්. ටී. ඒ. අන්නමලෛයි චෙට්‌ටිආර් ලෙස ඉංග්‍රීසි අකුරු සටහන් කර තිබිණි.

බැලු තෙක්‌ මානයේ නෙක කඳුවලින් වට වූ එම බෝ මැඬ පාමුල සිට අහස බලන ඔහුට පෙනෙන්නේ සැඳෑ වළාකුළු නිර්මාණය කළ අපූරු වර්ණාවලිය සහ විවිධ සිත්තම්ය.

මානවසිංහයන්ගේ පොතක සරස්‌කඩ ලෙස මේ සැඳෑ අහස්‌ සිතුවම් පිළිබඳ විග්‍රහය මගේ නෙත ගැටුණේ මින් බොහෝ කලකට පසුවය.

මානවසිංහයන්ගේ සුරතින් ලිය වූ මහ බෝ වන්නමට නිමිති වූයේ ඔහු බොහෝ කලක්‌ සේවය කළ ටයිම්ස්‌ ගොඩනැගිල්ල පාමුල බෝගසේ සැළෙන ලෙලෙන බෝ පත් යන්න ප්‍රකට වූ මතයයි. එහෙත් එතුමන්ට මහ බෝ වන්නම ලිවීමට එදා ගලබඩ හුදෙකලා ගම්මානයේ අප්‍රකට පිටිසර බෝධියේ සැලෙන ළෙලෙන බෝ දළු ද හේතු වූවායෑයි සඳහන් කිරීම නගරයේ බෝරුකට කරන අවමනක්‌ නොවේ. මා එතුමන් සමග එකම සහ අවසන් ගමනට එක්‌ වූයේ කතරගම වන්දනා ගමනකටය.

නන්දා මාලිනී ගයන ගීයක සේ ලොරි බාගයක නැගී එතුමන් සමග අප කතරගම බලා ගියේ මගේ මතකය නිවැරදි නම් 1960 පමණය.

ඒ ගමනට එතුමන්ගේ කනිටු පුත් උදය මානවසිංහයන් එක්‌ව සිටියේ වයස අවුරුදු 10 ක 12 ක කොලුවකු ලෙසය. රත්නපුර නෝනාගම හරහා හම්බන්තොටට ආසන්න වෙමින් සිටියදී එක පැහැර දුටු තල් ගස්‌ පෙළ සහ තෙරක්‌ නැති වැලි කතර දුටු ඔහු රිය පදවමින් සිටි මහලු ජිනදාස අයියා අමතමින් සඳහන් කළේ බැහැල ටිකක්‌ ඉඳලා යමු කියාය. පරක්‌ තෙරක්‌ නැති ඉන්දීය සාගරේ බොහෝ දුරක්‌ සිට රුහුණු වෙරළට ගොඩ ගැසූ කවඩි හක්‌ බෙල්ලන් දොaතින් ගත් ඔහු ඒ සෑම සමුද්‍ර සම්පතකම රූ රටා අපට විස්‌තර කළේය.

ලෝකය හා රිද්මය පිළිබඳ බොහෝ කරුණු කාරණා එතුමන්ගේ ගීතවල ඇතුළත්ය. එහෙත් ඒ ගේය පදවලට වඩා අද හම්බන්තොට වරායේ කරදියෙන් වැහුණු එදා රතුපස්‌ ගොඩැල්ල මුහුදු වෙරළේදී එතුමන් සිප්පිකටු දොaතින් ගෙන කළ විග්‍රය රිද්මය පිළිබඳ වඩා අර්ථ සහ රස පූර්ණ යෑයි මට සිතේ.

කතරගම අප දිනක්‌ හෝ දෙදිනක්‌ ගත කළෙමු. කතරගම සුරිඳු පිළිබඳ අප්‍රමාණ බැතිමතකු වූ ඔහු එදා මැණික්‌ ගඟ දෙපස නොයිදුල් වන පෙත හා තමන් අතර පැවති සහ සබඳතාවයන්ද නොසඟවා හෙළි කළේය.

ජීවිතයේ එක්‌ වකවානුවක මැණික්‌ ගංතෙර මහ වන වදුලේ ගත කළ අවධිය කෝමල රේඛා ඇතුළු පොත පතෙහි එතුමන්ගේ සඳහනට වඩා එම කථනයන් අතිශය සෞන්දර්යයකාමී විය.

එදා උදය අයියා මා ඇතුළු දරු දැරියන් පිරිසක්‌ පිරිවරාගෙන මැණික්‌ ගඟ දිගේ සෙල්ල කතරගම දෙසට උඩු ගං බලා ගිය එතුමන් යෝධ කුඹුක්‌ ගස්‌ පාමුල සීතල වක්‌කලන් වල සුදොa සුදු වැලි තලාවල විටින් විට දැහැන්ගත වූයේ ඒ සොඳුරු දුරාතීතයට දැයි මම නොදනිමි.

වංග පවුලක අතිශය රූමත් සිරිමතී නමැති තරුණියක පිළිබඳ මානවසිංහයන් කෝමල රේඛා පොතේ සඳහන් කර ඇත. අදින් 50 වසරකට පෙර එදා මැණික්‌ ගං වැලිතලාවේ දී එතුමන්ගේ ප්‍රභාමත් නෙත් සඟල අඳුරු කළේ එම ප්‍රේමය පිළිබඳ අඳුරු මතකය දැයි නොදනිමි.

සුනිල් ලීලානන්ද පෙරේරා

2 comments:

  1. මානවසිංහයන් නම පමණක් දැන සිටියෙමි, දැන් ඔහු ගැන ස්වල්පයක් හෝ දනිමි ......

    ස්තුතියි ලිපියට ....

    ReplyDelete
  2. අප උදේ හවා රස විඳින ප්‍රබුද්ද සිංහල ගී කලාවට පදනම දැමූවන් අතර ප්‍රමුඛයෙක් වන ඔහු ගැන දන්නවා බොහෝම අඩුය.

    ඇත්තටම මමත් මා ගැනම කනගාටුවෙමි.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්