Followers

Sunday, November 20, 2011

කවියා සුන්දර චෞරයෙක්ද,



ලොකු මහත්තැන්ලාගේ ඒව කියවල ලියන්න පෙර මං හිතුව මං පඬිතුමාගේ මනස්ගාත ටිකක් ලියන්න. මේවා මා තුලට ආවේ දිව්‍ය ලෝකයෙන්වත් අපායෙන්වත්  මා හෙන කවියෙක් නිසාවත් -පොරක් නිසාවත් නොවේ. කුඩා කල ඉඳන් කියවීමෙන් ලද එකතුවීම් වලිනි. ඒ නිසා මේවායේ පංගුකාරයෝ එමට සිටිති.
(කවි ගැන සමන්ත හේරත්ගේ ලිපි තමයි අවසානවරට කියෙව්වේ)

කවිය, කවියාත් රසිකයාත් එකතුව සිය හදපතුලේ ගැඹුර බැලීමක්

කවිය, කවියාත් රසිකයාත්  එකතුව කරන ආත්ම ගවේශනයක්

රසිකයාගේ හදපත්ලට වදන් නැමති මුට්ටිය ආකෘතිය නැමති කෙවිටේ අමුණා රසිකයාගේ හද පත්ලට ඇතුලුකර බැලීමයි කවිය.

ඒකයි සොඳුරු චෞරයා යන නම ගැලපෙන්නේ

රසිකයා හුස්ම ගන්නවාද ජීවත් වෙනවාද යන්න පරීක්ශා කිරීමයි කවියාගේ පර්යේශන

ආගම විසින් නිර්වින්දනය කරන ලදුව දේශපාලකයා විසින් හදවතේ ගැස්ම පාලනය කරන ගැලවූ වයර් නැවත හදවතට කිට්ටු කිරීමයි කවියා(කලාකරුවා) කරන්නේ.

නූතන විදියට කියනව නම්,
ලැබ් එකේ සංසේචනය කල ඩිම්බය(කලලය හෙවත් කවිය) මවගේ(රසිකයාගේ) ගර්භාශයේ(හදවතේ) තැන්පත් කර වැඩෙනවාදැයි පර්යේශනය කිරීමයි කවියා කරන්නේ.


කවියා චෞරයෙක්ද, කවියා සුන්දර හොරෙක්ද සොඳුරු ආඥාදායකයෙක්ද, සුගතපාල ද සිල්වා වරක් කිව්ව වගේ

කවියා කවුද
 කවිය කියන්නෙ කුමක්ද කියල යම් සාකච්චාවක් ඇති උනා කතන්දර ශූරීන්ගෙ බ්ලොග් එකක ආශ්‍රයෙන්.

ඒක ආශ්‍රයෙන් මතු උන පඬි අදහස් කීපයක් තමයි මේ ලිව්වේ.

සිංහල බ්ලොග් කලාවේ පතාක යෝදයන් වන කතන්දර ඒවගේම මාරයා ඒ රසිකයාගේ හදවතට එබෙන මුට්ටිය දම බලා අවශ්ය දේ තොරා බේරා ලිවීමේ කලාව හොඳට දන්නව, ඒකයි රසිකයො ඒ වටා රැස්වෙන්නෙ.
---------------------------

[LARGE][LINK=/new_site/index.php?option=com_content&view=article&id=1355:2012-02-01-18-16-07&catid=54:what-ails-you&Itemid=410]වර්තමාන කවිය කොයිබටද ? [/LINK] [/LARGE]
2012 පෙබරවාරි 02 වෙනි බ්‍රහස්පතින්දා, 02:14 සංස්කරණය - මහින්ද දළුගොඩආරච්චි [LINK=http://s7.addthis.com/static/btn/v2/lg-share-en.gif] [IMG]http://s7.addthis.com/static/btn/v2/lg-share-en.gif[/IMG] [/LINK]
අප අදහස් කරන්නේ වෙනත් සාහිත්‍යංගයක් සේම කවියද ජනතාවගේ දුක, වේදනාව, පීඩනය හා ඹවුන් සූරාකෑමට ලක්වී ඇති ආකාරය අනාවරණය කරන, ජනතාවගේ අරගල හා ජයග්‍රහණ වර්ණනා කරන හා උත්කර්ෂයට නංවන සාහිත්‍යාංගයක් බවයි.අපේ ජනකවියේ එම ලක්ෂණය අප දැක ඇත. කොළඹ යුගයේ සමහර කවීන්ගේ සමහර රචනාවල එම ලක්ෂණය දැක ඇත. පැරණි චීන කවීන්ද ඒ සඳහා උදාහරණ වශයෙන් දැක්විය හැකිය. පැරණි චීන කවියාද ජනතාවගේ වේදනාව හා ඉරණම ගැන එකල සමාජයේ වූ අසමානත්වය හා ගම්බද ගොවි ජිවිතය ගැන ලියා තිබේ. බොහෝ දුක් මහන්සිවී වැඩ කරන ගොවීන්, පාලකයන් හා නිලධාරීන් විසින් කුරිරු ලෙස සූරාකන ආකාරය අනාවරණය කර ඇත. චිනයේ ෙනෙතිකවාදීන් සිය අදහස් ප්‍රකාශ කිරීමෙහිදී වෙනස්වීම හා ප්‍රතිසංස්කරණ පිළිබඳ සිය දේශපාලන අභිලාෂයන් දැක්වීමේදී අවිය ලෙසින් යොදා ගත්තේ කවිය ඇතුළු ‍ලේඛන කලාවයි. ක්‍රිස්තු පූර්ව 770-221 කාලයේදී, එකිනෙකට ප්‍රතිවිරුද්ධ ගුරුකුල දෙකක් වශයෙන් කොන්ෆියුසියස්වාදීන් හා ෙනෙතිකවාදීන් අතර ආරම්භ වූ මතවාදී අරගලය වසර දෙදහසක් පමණ වූ චීනයේ වැඩවසම් ඉතිහාසය පුරා අවිච්ඡින්නව පැවතිණි. මෙය කවිය මගින් ඉතා අපූර්ව ආකාරයට පිළිබිඹු වී තිබේ.
(බලන්න: “චීන කාව්‍ය සම්ප්‍රදාය” නම් පෙරවදන, “ශිශිර වලාකුළු - මාඕ සේතුං සහ චීන විප්ලවයේ වෙනත් නායකයන් ලියූ කවි” (2010)
“පේරාදෙණිය කවිය” වශයෙන් එකල හැඳින්වූ නිසඳැස් හෝ නිදහස් කාව්‍ය සම්ප්‍රදාය සකස් වූයේ, පේරාදෙණි නවකතාවට ගැළපෙන පරිදි ධනේෂ්වර සාහිත්‍යය හා කලාවේ අංගයක් වශයෙන් හුදකලාව, පාළුව, කණස්සල්ල, පරාජිත බව, ඉච්ඡාභංගය හා ව්‍යාජ දාර්ශනිකත්වය දැක්වීම මගින් පේරාදෙණි පරිසරයට උචිත කවියක් බිහිවන්නේ විගලිත වූ බුද්ධිමතා නිරූපණය කරමිනි. ඒවා සංකීර්ණ වූ සමාජ හා මානව සම්බන්ධතා පෙන්වන්නක් නොවේ. මෙසේ විගලිත වූවන්ට පහසුවෙන් කවි ලියන ආකෘතියක් අවශ්‍ය කෙරිණ. එකලදී වුව ගුණදාස අමරසේකර මෙයින් මිදීමට උත්සාහ ගන්නා අන්දම “පුදුම රට” (උයනක හිඳ ලියූ කවි) වැනි නිර්මාණයකින් පෙනේ. කොතරම් තර්ක කළද එළිසමය අනුව කාව්‍ය රචනා කිරීම දුෂ්කරය. අද කෙරෙන අත්හදාබැලීම්වලින් එය මනා ලෙස දැකගත හැකිය.
1970-1980 යන දසකවලදී මතුවන කවීන් සමගින් “විරෝධාකල්ප” යන සංකල්පය කාව්‍යය සමග මුසු වෙයි. අප අදහස් කරන්නේ මේ “විරෝධාකල්ප”වල සැබෑ දේශපාලනය කුමක්දැයි හරිහැටි අධ්‍යයනය කළ යුතු බවයි. වර්තමානයේ කවියේ තේමාව බොහෝවිට සෞන්දර්යය, පෞද්ගලික අත්දැකීම්, හුදකලාව, මිත්‍රත්වය හෝ දර්ශනවාදී අදහස් දැක්වීම බවට පරිවර්තනය වෙමින් පවතී. සමහර පද්‍යවල ඇත්තේ නොතේරෙන ප්‍රහේලිකාය. දාර්ශනික ගැටලුය. ඒවා අවබෝධ කරගත හැක්කේ ඒවා ලියූ කවි කිවිඳියන්ට මිස පාඨකයන්ට නොවේ. කවිය පාඨකයන්ගෙන් ඈත් වන්නේ මේ නිසාද විය හැකිය. කවීන් සිය නිර්මාණවල ඇතැයි කියන “සංස්කෘතික නවීකරණවාදී චින්තනය” සෙවීමට අපි වෙහෙසෙමු. සමහර කාව්‍ය ග්‍රන්ථ “සජීවී ස්ත්‍රීවාදී එළැඹුමක්” පළ කරන බව කීවද ඒවායේ ඇත්තේ කාව්‍ය නිර්මාණදැයි සැක  සිතේ. කාව්‍ය සංග්‍රහවල පෙරවදන්වල හා පසුවදන්වල දැක්වෙන මහරු ලක්ෂණ කවි ‍පොතෙහි නොදැක්වේ. ආචාර්යවරයෙකු, මහාචාර්ය-වරයෙකු හෝ ප්‍රවීණ කවියෙකු පෙරවදන් හෝ  පසුවදන් ලීවාට ඒවා ගැඹුරු නිර්මාණ වන්නේ නැත.
ජනතාවට සිය නිර්මාණ පූජා කරමින් (“පීඩිත ගොවි දනන් වෙත” හා “සේවක හිත මිතුරන් වෙත”) කවිය ජනතා මෙහෙවර සඳහා යොදාගත් සමහර ‍‍‍ජ්‍යෙෂ්ඨ හා ප්‍රවීණ කවීන් අද සිය ආස්ථානය වෙනස් කර ඇති බව පෙනේ. කවියා මතවාද ගොඩනැගීමට උත්සාහ නොගත යුතු යයි කියමින්, සිය අතීත ප්‍රයත්නයන් වැරදි යැයි ප්‍රකාශ කිරීම නව කවියාට දෙන වැරදි පූර්වාදර්ශයකි. ඔවුන් කවීන් වශයෙන් කීර්තියට පත්වූයේද, ජාතික තලයට පැමිණියේද සිය අතීත නිර්මාණ නිසා බව අප අමතක කළ යුතු නැත. ගුණදාස අමරසේකර කලකට ඉහතදී ප්‍රතික්‍ෂේප කළේ පේරාදෙණි ගුරුකුලයේ කාම කතාවලට ගැනෙතැයි හඳුන්වා දෙන ලද ස්වකීය නිර්මාණයන්ය. අමසේකරගේ සාහිත්‍ය කීර්තිය රඳා ඇත්තේ ඒ පැරණි නිර්මාණවල යයි තරුණ විචාරකයන් අදහස් පළ කරද්දී, කවීන්ගේ මේ ප්‍රතික්‍ෂේප කිරීම් කොතරම් සෝපහාසයක් නංවන්නේද ?
වර්තමානයේදී කාව්‍ය නිර්මාණ ඉදිරිපත් කරන කවීන් අතරින් (1) 1970-1980 යන දසකවලදී කාව්‍යකරණයට පිවිසි කවීන්, (2) නව කවීන් යැයි හැඳින්වෙන කවීන්, (3) පුවත්පත්වල සාහිත්‍ය අතිරේකවලට කවි ලියන කවින් හා (4) වබේ අඩවි වලට හා “ෆේස් බුක්” නම් සමාජ මාධ්‍යයට කවි ලියන කවීන් වශයෙන් ප්‍රධාන වර්ග හතරක් හඳුනාගත හැකිය. නව කවීන් ලෙස බොහෝවිට මතුව ඇත්තේ පුවත්පත්වලට කවි ලියූ කවීන්ය. මේ එක් එක් අයගේ නිර්මාණවල විශේෂ ලක්ෂණ හා ප්‍රවණතා හඳුනාගැනීමට හැකිය. මේ පිළිබඳ මතෛක් ගැඹුරු අධ්‍යයනයක් වී නොමැතිය.
මේ සියල්ල සලකා බලනවිට පෙනී යන්නේ කවියේ ගුණාත්මක වර්ධනයට වඩා ප්‍රමාණාත්මක වර්ධනයක් ඇතිවී ඇති බවයි. අද කාව්‍ය සංග්‍රහ විශාල වශයෙන් පළ වේ. මෙම සම්මන්ත්‍රණය සඳහා සූදානම් වද්දී මම රුපියල් තුන්දහසක පමණ කවි ‍පොත් මිලයට ගතිමි. ප්‍රකාශකයන් කවි ‍පොත් පළ කිරීමට මැලි වන්නේ යැයි කීම මුසාවකි. සමහර විට මුද්‍රණය කරන පිටපත් සංඛ්‍යාව අඩුවිය හැකිය. කවි ‍පොත් අලෙවිය අඩු විය හැකිය. එහෙත් අද සිටිනා කවීන්ගේ ප්‍රමාණය දෙස බලන විට ඒ හැම කවියෙකුම අනෙකාගේ කාව්‍ය සංග්‍රහයක් මිලට ගන්නේ නම් ඒවා පහසුවෙන් අලෙවි කළ හැකි බව පෙනේ. සාමාන්‍ය පාඨකයාට දොස් නොතබා “පිං ‍පොත්” හැර කවියෝද කවි නොකියවති යැයි අපි නිගමනයට එළඹෙමුද ?
කවියේ ප්‍රමාණාත්මක වර්ධනයක් ඇත්තේ කවි ලිවීම පහසු යැයි සිතන නිසාද ? ‍ලේඛකයකු ලෙස මතුවිය හැකි පහසුම මාර්ගය ළමා කතා ලිවීම හා පරිවර්තන කිරීම මෙන් කාව්‍යකරණය යයි සලකන
නිසාද? කවිය ජානගත ලක්ෂණයක් හෙයින්ද ? එහෙත් මේ නව කාව්‍ය සංග්‍රහ කියවා බලන විට පෙනී යන්නේ මේවායේ හොඳ කවි, නිර්මාණශීලිත්වයෙන් අනූන රචනා තිබෙන බවයි. පසුගිය කාලයේදී කරන ලද එක් විවේචනයක් වූයේ තරුණ කවින් යම් යම් ප්‍රවීණයන්ගේ අනුකාරකයන් බවයි. ඔවුන් හඳුන්වන ලද්දේ ඒ කවීන්ගේ “පැටව්” වශයෙනි. එහෙත් අද තරුණ කවියා “සිංහල හයිකුවෙන්” හා තනි වචනයේ “බෙහෙත් සීට්ටු කවියෙන්ද” මිදීමට උත්සාහ ගන්නා බව පෙනේ. එය සාධනීය ලක්ෂණයකි. එමෙන්ම ‍‍‍ජ්‍යෙෂ්ඨ කවීන්ගේ නවතම නිර්මාණවල පරිහානි ලක්ෂණ ඇති බවද කියැවිණි.
නව කවිය පිළිබඳ ගැඹුරු විචාරයක් පළ නොවන්නේ මෙරට කාව්‍ය විචාරකයන් නොමැති හෙයිනි. කාව්‍ය විචාරකයන් ලෙස ඇත්තේද කවීන්මය. නොඑසේනම් නවකතා, කෙටිකතා නාට්‍ය චිත්‍රපට ටෙලි නාට්‍ය යන සියල්ල අගයන සමීක්ෂකයන්ය. මෙම සම්මන්ත්‍රණය සඳහා කාව්‍ය විචාරකයකු සොයා ගැනීමට අපි වෙහෙසුණෙමු. පුවත්පත්වල උදාහරණ ලෙස පළ කෙරෙන කවි පන්ති නව කවියාට උත්තේජනයකට වඩා නරකක් කරයි. කාව්‍ය සංග්‍රහයක අඩංගු එක් කවි පන්තියක් තෝරාගෙන ඇගැයීම කාව්‍ය විචාරයක් නොවේ. එය කවියා ඔහුට හිමි නියමිත තැනක පිහිටුවීමක් නොව ඔහුට වැරදි සංඥාවක් නිකුත් කිරීමකි. ඔවුන් උපුටා දක්වන කවි පන්තිවලට වඩා උසස් නිර්මාණ එම පද්‍ය සංග්‍රහවලින් අපට හමුවී ඇත. කාව්‍ය සංග්‍රහ ගැන ඉඳහිට පළවන කාව්‍ය විචාරවලදී විශිෂ්ට නිර්මාණ ලෙස උපුටා දැක්වෙන කවි දෙස බලන විට අපට සිතෙන්නේ ඒවා කවිද කියාය. ඒවායේ කුමන කාව්‍යමය ලක්ෂණ ඇද්දැයි කියාය. ඒවා වුවද කාව්‍යමය ලක්ෂණ නොමැති වාර්තා බවය.
සම්මාන දීම සඳහා කියැවූ කවි ‍පොත්වල නම් හා එම කතුවරුන්ගේ නම් ලැයිස්තුගත කර ඉදිරිපත් කිරීම කාව්‍ය විචාරය නොවේ.  කවියට වඩා කවියා වර්ණනා කිරීමකි. එමෙන්ම කවීන්ට “රැස් වළලු” කුමකටද ?
අද නිදහස් පද්‍ය ලියන අයම එම පද්‍ය සංග්‍රහයන්හිදී එළිසමයට අනුව කවි ලියන බව පෙනේ. එ නිසාම එදා “සක්ක පද” යැයි ව්‍යවහාර වූ අවියත් වදන් රාශියක් මේ පද්‍යවලට එකතු වන බව පෙනේ. ඒවායේ විසුම් සහගත පද සන්ධි කිරීම්ද දැක්වේ. අවියත් ලෙස එළිසමය යෙදීම නිදහස් පද්‍යයට එල්ල වන විචාර නවතාලන මග නොවේ. සමහරු කවි ලියන්නේ ඒවා ගී ලෙස පසුව ගායනා කරවීමටය.
සමහර කවි ‍පොත්වල මීට පෙර ගායනා කරන ලද ගීතද ඇතුළත් කර ඇත. සමහර දොරට වැඩීමේ උත්සවවලදී ප්‍රසිද්ධ ගායක ගායිකාවන් ලවා කවි ගායනා කරනු ලැබේ. එදා ගී ගයන්නට බැරි අයට “සින්දු කවි කරදෙනු ලැබේ” යැයි කී වදන අද “කවි සින්දු කර දෙනු ලැබේ” යයි වෙනස් වී ඇත. විමලා අමරදේව මහත්මිය, අමරදේව මහතා ගැන මෑතකදී පුවත්පතකට ප්‍රකාශ කර තිබුණේ “අපේ කවිය ගීතයක් වුණේ මෙතුමා නිසා” කියාය. ඉකුත් දිනෙක පුවත්පතක තීරු ලිපියක පළ වූ දෙබසක් මෙසේ වෙයි.
“ගීතයක් ලියලා දෙන්න පුළුවන්ද ?”
“එවැන්නක් නම් නෑ. මම ළඟදී මෙහාට ආවාට පස්සෙ පුංචි කවියක් ලිව්වා. කැමති නම් ඒක දෙන්න පුළුවන් සින්දුවකට හරවන්න”
වෙනත් ප්‍රවීණ කවීන් භාවිත කළ වචන ඒ අයුරින්ම නව කවීන් විසින්ද භාවිත කරනු පෙනේ. එලෙසින්ම කාව්‍යාත්මක බව නිර්මාණාත්මක භාෂාව ගිලිහී යාමක්ද දක්නට ඇත. මෙය විශේෂයෙන්ම සිදුවන්නේ පවත්නා දේශපාලනය ප්‍රශ්න කිරීමේදීය. එයිනුදු විශේෂකර පුවත්පත්වල පළ වන කවි වලය. පුවත්පත් කවිවල ඉංගිරිසි වදන් ලිවීම පමණක් නොව ඒවා  ඉංගිරිසියෙන්ම ලිවීමක්ද දක්නට ලැබේ. පුවත්පත් කවියට “දුයිෂෙන්”, “නොරිකො”, “දේවෙන්දොරා සං” “අප්පච්චිගේ කුඹුරුයාය”, “අම්මා කඩයප්පන් තම්බනවා” යනාදියෙන් තවමත් මිදෙන්නට නොහැකි වී තිබේ. ‘වබේ අඩවිවල පළවන ‘රැඩිකල්’ යැයි කියන කවි දෙස බැලූ විට ඇසිය යුත්තේ ඒවා පෙනී සිටින්නේ කා වෙනුවෙන්ද ? කුමන දේශපාලනයක් වෙනුවෙන්ද? කවුරු බලයට පත් කරන්නටද? යන්නයි. ඒවා මගින් ඊනියා “අරාබි වසන්තයක්” මෙහිද පතා සිටින්නේ නම් ඊනියා “අරාබි වසන්තය” කා උදෙසා වීද යනුවෙන් සලකා බැලිය යුතු බවයි.
අද බොහෝ දෙනා නවකතා ගැන කීමේදී සංස්කරණය ගැන කියතත් කවිය සංස්කරණය විය යුතු බවත් කියන්නේ නැත. අප විසින් මෑතකදී කියැවූ ලිපියකට අනුව ඩාන්ටේ නමැති කවියාගේ පිහිටට පැමිණ ඇත්තේ වර්ජිල් නමැති කවියාය.
එහි කියා ඇත්තේ සෑම කවියෙකුටම වර්ජිල් කෙනෙකු සිටිය යුතු බවයි. වර්ඩ්ස්වර්ත්ට කොලරිජ් සිටි බවද, ටෙනිසන්ට ආතර් හලම් සිටි බවද, එඩ්වර්ඩ් තෝමස්ට රොබට් ෆේ‍රාස්ට් සිටි බවද කියන එය හොඳම උදාහරණය වශයෙන් දක්වන්නේ, එස්රා පවුන්ඩ්, ටී.එස්. එලියට් ගේ “ද වේස්ට් ලෑන්ඩ්” නමැති කෘතිය සංස්කරණය කළ බවත්, එහි අත්පිටපත සුරක්ෂිතව ඇති බවත්ය. මෙම කාරණයේදී “සාහිත්‍ය අධ්‍යයන කවය”ට නව කවීන්ට උපකාරි විය හැකි බව පවසා සිටින්නේ එය “සාහිත්‍ය අධ්‍යයන කවයේ” අරමුණක්ද, ප්‍රධාන කටයුත්තක්ද වන හෙයිනි.
සාහිත්‍ය අධ්‍යයන කවය” මගින් 2012 ජනවාරි මස 26 වැනි දින පවත්වන ලද, “වර්තමාන කවිය කොයිබටද ?” නම් සම්මන්ත්‍රණයේදී කරන ලද මුලසුනේ කතාව ඇසුරිනි.

[I]සේන තෝරදෙනිය[/I]

4 comments:

  1. තව මම අගය කරන බ්ලොග් කයි කාරයෝ තමයි. හිතුවක්කාරයා, හිතනලන්තය, ගල් මල් සහ සොඳුරු සිත. ඒ ඇරෙන්න බූන්දියෙත් තියෙනව මම ආස කරන කවි. පොඩි මෑන් ගේ කවි වගේ රැඩිකල් කවි වලට මම ගොඩක් කැමතියි....

    ReplyDelete
  2. හාපෝ කවි කියවලා රස විඳින්ට පුලුවන්. ඒත් කවි පද දෙකක් ගැටගහගන්ට නම් තේරෙන්නේම නෑ. බ්ලොග්ලෝකේ ගොඩක් අයට කවි ලියන්ට පුලුවන්. වලව්වේ රවි, සිත්තමී, වලව්වට යන එන ගිම්හානි, හිරන්‍ය මම දකින ලස්සන්ට කවි ලියන අය. මාතලන් කීවා වගේ, සොඳුරු සිත ලස්සනට කවි ලියන කෙනෙක්.

    කවියෝ නම් සූර චෞරයෝ. අනුන්ගේ හිත් හොරාගන්ට දස්සයි. විශේෂයෙන් ගෑනුලමයි ඔය කවිවලට රැවටෙනවා.

    ReplyDelete
  3. කවිය යන්නට ගද්‍ය-prose ද අයත්ය.

    කවියා යන්න පුලුල් අර්තයෙන් ගත් කල කලාකරුවාට යෙදෙන නමකි. ඒ නිසා බ්ලොග් ලියන ඔබද කවියෙකි

    ReplyDelete
  4. මාතලන්
    කාලය සීමිත නිසා ගොඩක් දේවල් බලන්න වෙන්නෙ නෑ, ඔබ කිවූ ඒවා මං බලලම නෑ, කලාතුරකින් බූන්දි ඇරෙන්න. මින් පසුව බලන්නම්!
    Podi Kumarihami
    රැවටෙනවද නැත්නම් රැවටෙනව වගේ පෙන්වනවද? ...මායං !
    ඔබ සඳහන් කල බ්ලොග් බලන්නම්

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්