Followers

Monday, June 3, 2013

රජීව්ට ගහපු තුවක්කුව තියන්න තරම් කටුගේ ආරක්ශිත තැනක්ද?


රජීව්ට ගහපු තුවක්කුව තියන්න, ඔබට වටින ඔය තුවක්කුව වගේ බොහෝම වටින දේ අනාගතය වෙනුවෙන් සංරක්ශණය කර රකින්න කටුගේ ආරක්ශිත තැනක්ද? රටේ ජනතාවට නම් ශුවර් නෑ. (පසුගිය කාලය තුල සිදු වූ සොරකම් වල හැටියට). ඒත් මානව ප්‍රේමය යටකරන,  ලංකාවේ ඉතාම ලාභ විදියට අරක්කු කාලට බත පාර්සලේට රුපියල් දාහට මාර්කට් වෙන යල් පැන ගිය දේශප්‍රේමය මතක් කර දීමට ඒ තුවක්කුව අයත් තැන නම් කටු ගෙයම තමයි. එදා රජීව් කීවේ ඒ මනුස්සයාට අභය දානය දෙන ලෙසයි. මේ දේශප්‍රේමය මර්වින්ගෙ හරක් ප්‍රේමය වගෙයි. එතුමා  කැළණියෙ රජ්ජුරුවො වෙලා ඉන්න කාලෙ කීව හරක් මරන එවුන්ගෙ අත් කපනව කියල.

(මේ අවස්තාවේදී ඉතාම කාරුණිකව මතක් කල යුතුයි ගව ඝාතනයට එරෙහිව ගිනි තබාගත් ඒ බුද්ධ පුත්‍රයා පිළිබඳව. ලංකාවේ මසට සතුන් මරන හැටි ඉතාම කෲරයි. එය විදිමත් කල යුතුයි. ඒ මස් කන මිනිසුන් කෲර වෙනවා එය විද්‍යාත්මකව සනාත කර තිබෙනවා. කෙසේ වුවත් උන් වහන්සේගේ නම අමරණීය වනවාට සැක නැත. මෙය තව අය විසින් අනුගමනය කිරීම නම් නැවත්විය යුතුයි. හරක් ගැන කුමට කියනවාද? 88-89 කාලෙ මිනිසුන් මරපු හැටි අහගන්නකො ලාල් මහත්තයගෙන්ම.)

කියන්න බලාපොරොත්තු වූ මුලිකම කාරණාව නම් මෙයයි.
ලාල් කාන්ත මහත්තය ඒ දේශනාවෙන් කියා තිබෙන්නේ 87 සිදු උනේ ඉන්දියානු ආක්‍රමනයක්, එයට පක්ශ උනු අය දැන් ආණ්ඩුවෙත් ලොකු පුටුවලත් ඉන්නවා. එයට විරුද්ධ කැරල්ලක් ගැහැව්වෙ ජේ වී පී ඇතුලු දේශප්‍රේමීනුයි, ඒ අය විසින් මිනි මැරුවා,  දේපල විනාශ කලා.  එදා කැප්පෙටිපොල ඇතුලු දේශප්‍රේමීනුත් දේපල විනාශ කලා. ගාලු මුවදොර පැවත්වුනු ආචාර පෙලපාලියේදී එවකට ඉන්දීය අගමැති රජීව්ට සිය තුවක්කුවෙන් පහර දුන් පුද්ගලයා වීරයෙක් කියලයි.


මං අහන්නෙ මේ ප්‍රශ්නෙයි. ලාල් මහත්තයගෙ ලයින් එකේ විදිහට ලොකුම වීරයා ඒ අය විසින් ත්‍රස්තවාදියා විදියට හඳුන්වන ප්‍රභාකරන් නැතනම් පිරපාහරන්. මන්ද ඔහු තමයි ලාල් මහත්තේල කියන බීඩි උරමින්, පොල් තෙල් බොමින්, එලුවන් හොරකම් කර මරා කමින් සිටි වඳුරු, ආක්‍රමනික හමුදා පහර දී පන්නා දැමුවේ. එතකොට මෑතකදී සිදු වූ විදේශ ආක්‍රමනයෙන් ශ්‍රී ලංකාව බේරා ගත්තේ මහා වීර ප්‍රභාකරන් විසින් බැවින් ඔහුගේ පිලිරුවක් ජයවර්ධන පුර පාර්ලිමේන්තුව අභියස හා ඔහු පාවිච්චි කල බඩු භාණ්ඩ (අනාගත ආරක්ශිත ) කටු ගෙයිද තැබිය හැක. මාත් විශ්වාස කරන පරිදි එහි වරදක් නම් නැත. ලංකා මාතාව බිහිකළ දරුවන් මෙවන් තත්වයට පත්වීම පිළිබඳ වගකීම හැමටම මතක් කර දෙන්නටත් එක්කම.

----------------
පසුව එක් කරන ලදි7/8/13
විසිහය වසරකට පෙර අත්සන් කළ ඉන්දු - ලංකා ගිවිසුමේ අමතක නොවන මතක සටහන්
2013 අගෝස්තු මස 04 15:01:19 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
 

ගාලූ මුවදොරදී රජීව් ගාන්ධිට පහරදුන් මොහොත

ඒ අතීතයේ එක් අඳුරුබර දිනයකි. දිනය නිශ්චිතවම 1987 ජූලි මස 29 වැනිදාය. ඉන්දුxලංකා ගිවිසුම අත්සන් කළේ එදිනය. ශ්‍රී ලංකාවේ ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතාත් ඉන්දියානු අගමැති රජීව් ගාන්ධි මහතාත් දෙරට නියෝජනය කරමින් ඉන්දුxලංකා ගිවිසුමට අත්සන් තැබූහ.
ජූලි 30 වැනිදා අගමැති රජිව් ගාන්ධි රටින් පිටව යාමට පෙර අගමැතිවරයාට නාවික හමුදා උත්තමාචාරයක් පිළිගන්වන්ට නියමිතව තිබුණි. සැලසුම් කළ පරිදි දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ නාවික හමුදා උත්තමාචාරය වෙනුවෙන් සියලූ සැලසුම් පිළියෙල විය.
ඒ උත්තමාචාරය පැවැත්වෙමින් තිබුණු වේලාවයි. සියල්ල සාමකාමීය. එහෙත් එක් මොහොතකින් නොසිතූ  ප‍්‍රකම්පනයකින් නිමේෂයකට සියල්ලක් සසල විය. කිසිවකුත් අපේක්ෂා නොකළ මොහොතක නාවික හමුදා භටයකු අත රැුඳි රසිෆලය ඉහළට එසවිණි. එහි ඉලක්කය  රැඳී තිබුණේ ඉන්දීය අගමැති රජිව් ගාන්ධිගේ සිරස මතය.
ඉලක්කය ඒ අයුරින්ම සපුරාගත නොහැකි වුවත් ඒ ආන්දෝලනාත්මක සිදුවීම වසර විසිහයක් ඇවෑමෙන් අදද අපට සිහිපත් වේ.
එදා රජිව් ගාන්ධි අගමැතිවරයා වෙත රයිෆලය  එසවූ විජිත රෝහණ විජේමුණි නාවික හමුදා භටයා අද ජ්‍යෝතිෂවේදියකි. ඒ අතීත සිදුවීමට වසර 26ක් සපිරෙද්දී ඔහු තම අත්දැකීම් අළලා මවුබිමට උත්තමාචාර නමින් ග‍්‍රන්ථයක්ද ප‍්‍රකාශයට පත් කළේය. මේ ඔහු අද සිහිපත් කරන එදා මතකයයි.
විජිත රෝහණ

 විජිත රෝහණ විජේමුණි පහරදුන් නාවික සෙබළා අද කියන කතාව: 
අපේ රට ඉන්දියාවේ 26 වැනි ප‍්‍රාන්තය වෙනවා දකින්න බෑ කියන හිතුවිල්ල මගේ හිතේ හුඟාක් දැඩිව පැලපදියම් වෙලා තිබුණා. ඉන්දුxලංකා ගිිවිසුමට එරෙහිව රටේ කළු කොඩි එසවුණා. ජනතාව ලොකු විරෝධයක් දැක්වූවා.
ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළේ ඇඳිරි නීතියත් පනවලා. උත්තමාචාරයට පෙර ඉන්දුxලංකා ගිවිසුමට එරෙහි විරෝධය හේතුවෙන් ඇතිවූ ඇතිවූ ගැටුම් වලින් මිනිස්සු  147 දෙනෙක් මැරිලා තිබුණා.
ලෙයින් කඳුළින් ජාතියේ හදවත හැඬවුණු මොහොතක  අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහි විරෝධය පිළිබඳ හැඟීමෙන් නාවික හමුදා භටයාගේ හදවතද සලිත වී තිබුණි. ආවේගය හදවතේ සියලූ අක් මුල් පුරා ඔඩු දුවමින් තිබුණි.
මමත් රජිව් ගාන්ධි අගමැතිවරයාට පිරිනමන නාවික හමුදා උත්තමාචාරය පෙළපාලියට තේරිලා හිටියා. අගමැතිවරයා සියරට බලා යන්න පෙර දක්වන උත්තමාචාරය. මම හිතා ගත්තා රජිව් ගාන්ධි අගමැතිවරයාට හොඳ පාඩමක් උගන්වනවා කියලා. මට හිතුනා මෙහෙම ගියොත් අපට අනාගතයේදී වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ටත් උත්තමාචාර දක්වන්න සිදුවෙයි කියලා.
මම මගේ සැලසුමත් තීරණයත් හිතේ තියාගෙන රජිව් ගාන්ධි අගමැතිවරයා මම හිටපු තැනට කිට්ටුවෙන මොහොත එනකම් බලාගෙන සිටියා. ඒ මොහොත ආවාම මම දෙපාරක් හිතුවේ නෑ. රයිපලය උස්සලා ගත්තා අගමැතිවරයාට පහර දෙන්න. එක්වරම සෙවනැල්ලක් වගේ රයිපලය එසවෙද්දී අගමැතිවරයාට මොකක් හෝ අනතුරක් පිළිබඳ හැෙඟන්න ඇති. අගමැතිවරයා ඔළුව හැරෙව්වා. නාවික හමුදාපතිතුමා වූ රියර් අද්මිරාල් ආනන්ද සිල්වා මහතා තමන්ගේ අත දාලා එය වළක්වන්න උත්සාහ කළා. එහෙම නොකළා නම් ඒ පාර රජිව් ගාන්ධි අගමැතිවරයාට දැඩිව වැදෙන්න තිබුණා.
ඔය සිදුවීමෙන් පසු රියර් අද්මිරාල් ආනන්ද සිල්වා නාවිකා හමුදාපතිතුමාට වයිස් අද්මිරාල් ධුරය දුන්නා. ඔහු වයිස් අද්මිරාල් ධුරය ලැබූ පළමු නාවික හමුදාපතිත් වුණා.
එදා මම රයිපලය එසෙව්වේ රජිව් ගාන්ධි අගමැතිවරයා මැරෙන්න පහර දෙන්නයි. ඔහුගේ මරණය තමා මගේ ප‍්‍රාර්ථනය සහ ඉලක්කය වුණේ.
එහෙත් අගමැති රජිව්ගේ ඉරණම මත තවත් ආයුෂ ලැබීමේ ආශිර්වාදය රැුඳී පැවතුණි. මෙම උද්වේගකර මොහොත නොමියෙන සාක්ෂියක් බවට පත්කළේ ප‍්‍රභාලේඛනයයි. නිනව්වක් නැතුව පැය ගණනක් පුරා මෙහෙයැවී තිබුණු සියක් කැමරා ඇස් ඒ තීරණාත්මක මොහොතේ නිහඬ වෘතයක ගිලී පවතිද්දී එකම එක ඡුායාරූප ශිල්පියකු අත රැඳී කැමරාව පමණක් ඇසුරු සැණින් පිංතූරය සොරා  ගත්තේය. ඓතිහාසික ගිවිසුමක් හා සබැඳි ඓතිහාසික සංසිද්ධියක       ”මොහොත” ඔහුගේම පමණක් වූයේ ඒ මොහොතක ක‍්‍රියාත්මක වීම තුළය.
ප‍්‍රවීණ ඡායාරූප ශිල්පී සේන විදානගම, නාවික භටයා  අගමැති රජිව් ගාන්ධිට පහර දෙන අවස්ථාව කැමරා කාචයේ  සටහන් කරගත් ඡුායාරූප ශිල්පියාය. මේ අද දවසේ ඔහුගේ මතකයයි.



 සේන විදානගම  ඡායාරූප ශිල්පියා අද කියන කතාව:
සේන විදානගම
ජූලි 29 වැනිදා ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළා. ඒ ඊට පසුවදා. එනම් 1987 ජූලි 30 වැනිදා. ජූලි 29 වැනිදා ගිවිසුම අත්සන් කළ අවස්ථාව ඬේලි නිව්ස් පුවත්පත නියෝජනය කරමින් ආවරණය කළ ඡායාරූප ශිල්පියා වුණෙත් මමමයි.
30 වැනිදා වෙද්දී රටේ භීෂණ තත්ත්වයක් තිබුණේ. මිනිස්සු මහා උද්ඝෝෂණ කළා. 29 වැනිදා හවස ගිවිසුම අත්සන් කළ පිංතූර ටිකත් දීලා මම ගෙදර යන්න යද්දී අපේ කර්තෘ මණික් ද සිල්වා මහත්තයා මට කීවා සේන හෙට වැඬේටත් ඔයා දාලා තියෙනවා. අමල් ජයසිංහත්  එක්ක අගමැතිගේ කවර් එකට යන්න උදේ 7.30 වෙද්දී ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට යන්න කියලා.
එතනින් අපව අරගෙන ගියේ ජනාධිපති මන්දිරය ඉස්සරහා ස්ථානයකට. එතන ඡුායාරූප ශිල්පීන් වෙනුවෙන් අට්ටාලයක් හදලා තිබුණා. උත්තමාචාර පෙළපාලිය තිබුණේ ජනාධිපති මන්දිරය ඉස්සරහා. එතැන් සිට මීටර් 30ක් පමණ ඈතින් අඩි 8ක් පමණ උස අට්ටාලයක අපි කොටුකරලා හිටියා.
දෙස් විදෙස් ජනමාධ්‍යවේදීන් 75ක් විතර එතන හිටියා. විදේශීය  මාධ්‍යවේදීන්ට අට්ටලායක් තිබුණෙ නෑ. ඒ අය බිම සිටයි වාර්තා කළේ.
උදේ 9.30 පමණ වෙද්දී අපි බලාගෙන ඉන්නවා ආවරණ කටයුතු කරන්න. ඒ අවස්ථාවේදී ජේ. ආර්. ජනාධිපතිතුමා සහ රජිව් ගාන්ධි අගමැතිතුමා ජනාධිපති මන්දිරයේ  මැද ගේට්ටුවෙන් එළියට ආවා. ඒ තවත් මැති ඇමැතිවරුන් පිරිසක් සමග.
ජේ. ආර්. ජනාධිපතිතුමා රජිව් ගාන්ධි අගමැතිවරයාව නාවික හමුදාපතිවරයාට බාරදුන්නා. ඒ උත්තමාචාර  පෙළපාලිය වෙනුවෙන්. ඡායාරූප ශිල්පීන් දිගින් දිගටම පින්තූර ගන්නව. අගමැතිවරයා උත්තමාචාරය පිළිඅරගෙන උත්තමාචාර පිරික්සීමේ අවස්ථාව උදාවුණා.
අගමැතිවරයා පෙළපාලිය පරීක්ෂා කරමින් එද්දී ඇත්තටම ඡුායාරූප ශිල්පීන්  හිටියේ දැන් අවශ්‍ය පින්තූර අරගෙන ඉවරයි වගේ හැඟීමෙන්. අපි කැමරා සූදානම් කරගෙන ඉන්නවා වෙනුවට කැමරා පහත හෙලාගෙනයි හිටියේ. මට මතකයි එදා වේදිකාවේ බන්දු එස්. කොඩිකාර, ඩන්ස්ටන් වික‍්‍රමරත්ක වගේ සහෝදර ඡුායාරූප ශිල්පීන් හිටියා.
දැන් අගමැතිතුමා උත්තමාචාරය පිරික්සමින් යනවා. මට එකපාරටම නිකම් බූට් සපත්තුවක් බිම වැදෙනවා බිම ඇතිල්ලෙනවා වගේ පුංචි සද්දයක් ඇහුනා. ඒත් එක්කම මුල්පේළියේ නාවික හමුදා සෙබළෙක් හෙළවෙනවා වගේ දැක්කා. ඒ මොහොතකින් නාවික හමුදා සෙබළකුගේ රයිපලය ඉහළට එසවිලා අගමැතිවරයා දෙසට පත්වුණා. නාවික හමුදාපතිතුමා ඒ සමගම මැදින් අතදාලා එය වලක්වන්න හැදුවා. අගමැතිවරයාත් ඔළුව අහකට ගත්තා. රජිව්ගේ ආරක්ෂක භටයා මොහොතින් කි‍්‍රයාත්මක වුණා. රයිපලය බිම වැටුණා.  
ඒ දසුන් නෙතට හසුවන්නට ඒ සියුම් හඬ සවන් වැකෙන්නට තත්පරයෙනුත් දශමයක් තරම්වත් වේලාවක් ඉක්ම නොගියේය. ඒ අසුරු සැණින් ඡායාරූප ශිල්පි සේන විදානගමගේ පොළව දෙසට නැඹුරු වූ කැමරාවේ මුහුණත ඉහළට එසවුණේය. ක්ෂණයකි.  සැබැවින්ම ගතවූයේ ක්ෂණයකි. දෙස් විදෙස් මාධ්‍යවේදීන් අතර දවසේ හොඳම ඡායාරූපය අත්පත් කර ගන්නට ගතවූයේ ක්ෂණයකි.
”ඇත්තටම ඒ පහර අගමැතිවරයාට නොවැදුනේ නාවික හමුදාපති ආනන්ද සිල්වාගේ මැදිහත්වීම නිසා. ඔහු එකපාරටම සක‍්‍රිය වුණා. කොහොම හරි ප‍්‍රහාරය මෙල්ල වුණා.
මගේ කැමරාවට හසුවුන ඡුායාරූපයේ රජිව් ගාන්ධිගේ පාදත් නාවික භටයින්ගේ පෙළ ගැසීමත් අතර සුදු කලිසම් කකුල් දෙකක් සහ බූට් සපත්තු දෙකක් පේනවා. ඒ තමා නාවික හමුදපාතිතුමාගේ කකුල් දෙක හා බූට් සපත්තු දෙක.
එදා ඔය අවස්ථාව ආවරණය කරන්නට එන්න පෙර මණික් ද සිල්වා අපේ කර්තෘතුමා මට මෙහෙම දෙයක් කීවා.
සේන ඔතන සිදුවන දෙයට වඩා අමතර දෙයක් සිදුවෙන්නත් පුළුවන්. ගල් මුල් එන්න පුළුවන්. අමුතු පසුබිමක්නේ රටේ තියෙන්නේ. කඩාකප්පල්කාරී වැඩ වෙන්න පුළුවන්, විමසිල්ලෙන් ඉන්න කියලා. ඒ නිසා මොකක් හෝ වෙනස් පින්තූරයක් ගන්න තියෙනව නම් කියන හිතුවිල්ල මගේ හිතේ තිබුණා. නාවික භටයා  යන්තම් සෙලවෙනවා වගේ දකිද්දී මම හිතුවේ ඔහු ක්ලන්තය දාලා වැටෙන්න යනවා කියලා. මම එක පාරටම ඡුායාරූපයක් ගන්න ලෑස්ති වුණේ ඒ නිසා. මෙහෙම සිදුවීමක් කියලා නම් හිතුවේ නෑ.
බන්දු සහ ඩන්ස්ටන් ඇසුවා, සේන ගත්තා... ගත්තා... නේද කියලා. අමල් ජයසිංහ බිම ඉඳන් කෑ ගහලා ඇහුවා සේන පිංතූරය ගත්තා නේද කියලා. මම ගත්තා ගත්තා කීවා. ඒ අවට රහස් පොලිසිය පවා හිටියා. වටේම සිටි පිරිස එක පාරටම මගේ දිහා බැලූවා. මම කියපු වචනවල  බරපතළකම මට තේරුණේ ඒ මොහොතේ. මට පසුතැවීමක් දැනුණා ඇයි මම ගත්තා කියන එක කීවේ කියලා. මම ඒ සැණින්ම සේයා පටය කාටවත් නොපෙනෙන්න ගලවලා මගේ මේස් එක ඇතුළේ දාගෙන කැමරාවට වෙන සේයාපටයක් ඇතුළු කළා.
හැමෝටම ආරංචිය ගියා අපි ළඟ පින්තූරය තියෙනවා කියලා. අපි පයින්ම අපේ පත්තර කන්තෝරුවට ගියා. මම අමුතු ආවේගයකින් ආවේ. කෙලින්ම ගියේ ‘ලැබ්’ එකට. ගිහින් සේයාපටය දුන්නෙත් විශ්වාසවන්තම කෙනෙකුට. පිංතූරය හරියට වැදිලද? හොඳට තියෙනවද මේ වගේ එක එක කල්පනා හිතට එනවා. පින්තූරය බලනකම් හදිස්සියි. අමල් ජයසිංහ කෙලින්ම ගියේ මණික් ද සිල්වා කර්තෘතුමා හමුවන්න. ඒ ගිහින් සිද්ධිය කියලා, සේන පිංතූරය ගත්තා කියලත් කියලා.
මම සේයාපටය බැලූවා. පිංතූරය හොඳට තියෙනවා. 10-12 පිංතූර දෙකක් අරගෙන මම ගියා මණික් ද සිල්වා මහත්තයා ළඟට. ඒ වෙලාවේ අපේ සභාපතිතුමත් ඇවිත්. සභාපතිතුමාට මණික් ද සිල්වා මහත්තයා කතාව කියලා තිබුණත් පිංතූර දකිනකම් මේ සිද්ධිය විශ්වාස කළේ නෑ. පිළිනොගන්න හේතුව තමා ජනාධිපතිතුමා ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී මාධ්‍ය ප‍්‍රධානීන් සිදුවුණේ කුමක්ද අහද්දී මොකුත් සිද්ධ වුණේ නෑ කියලා සිද්ධිය වසන්කර තිබීම.
සභාපතිතුමා කීවා මේ පින්තූරය වෝඞ් පෙදෙසට ගිහින් ජනාධිපතිතුමාට පෙන්වලා අවසර අරගෙන හැරෙන්න පල කරන්න එපා කියලා. මට ඒ වෙලාවේ දුකක් දැනුණා පිංතූරය පල නොවෙයි ද කියලා. ඒ වෙලාවේ කර්තෘතුමා ඒ ගැන වාද කළා. අන්තිමේදී පිංතූරය ජනාධිපතිතුමා ළඟට අරගෙන ගියා. ඒ වෙද්දි මේ සිද්ධිය ජාත්‍යන්තරයට ගිහින්  ඉවරයි. එම නිසා පල කරන්න අවසර ලැබුණා.
මේ පින්තූරයට විදෙස් මාධ්‍ය ආයතනවලින් පවා මට ප‍්‍රසංශා ලැබුණා. ඒ වගේ එදත් අදත් මාධ්‍ය මෙය පාවිච්චි කළා. පිංතූරය විශාල ප‍්‍රමාණයෙන් මා සේවය කළ පුවත්පතේ පළ වුණා. රහස් පොලිසිය ප‍්‍රශ්න කළා. හමුදා අධිකරණය ඉදිරියෙත් මාව ප‍්‍රශ්න කළා.
රහස් පොලිසිය මට ප‍්‍රශ්න කිරීම සඳහා එන්න කීවාම අපේ කර්තෘතුමා කීවා ඔබලාට  ඕනෑනම් මෙහෙට ඇවිත් ප‍්‍රශ්න කරන්න මගේ ඡායාරූප ශිල්පියා මම එවන්නෙ නෑ කියලා. ඔහු කතුවරයෙක් විදිහට කොන්ද කෙලින් තියාගෙන අපට එන ප‍්‍රශ්නවලදී අපිව ආරක්ෂා කළා. අප වෙනුවෙන් කතා කළා. රහස් පොලිසිය ඇවිත් ප‍්‍රශ්න කළා. ”ඔබගේ කවුරු හරි  නාවික හමුදාවේ ඉන්නවද, කොහොමද දැන ගත්තේ මෙහෙම දෙයක් වෙනවා කියලා. ඔබ විතරක් මේ පින්තූරය ගත්තේ කොහොමද?” මේ විදිහට දිගින් දිගටම ප‍්‍රශ්න ඇහුවා. ”සේන විදානගම කියයි.
අදටත් ඒ සේයාරුව ඔහුගේ වෘත්තිය ජීවිතයේ අමරණීයම මතකයයි. එමෙන්ම ඉතිහාසයේ එක්තරා දවසක් පිළිබඳව ශේෂව ඇති එකම රූපමය සාක්ෂියයි.

සටහන - සංජීවිකා සමරතුංග



 අදහස්(5)  බැලූවෝ (1499)
විසිහය වසරකට පෙර අත්සන් කළ ඉන්දු - ලංකා ගිවිසුමේ අමතක නොවන මතක සටහන්සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
නිල් 2013-08-04 15:36:58
ඔබ ජාතික වීරයෙක් (නි)
ගයන් 2013-08-04 20:35:36
විජිත නියම දේශප්‍රේමියෙක්. ඔබ මව්බිම වෙනුවෙන් ඔබගේ යුතුකමක් කළා කියලයි මට හැඟෙන්නේ. හැබැයි ඔබගේ පහරින් ඔහු මියගියා නම් ලංකාවේ ඉරණමත් වෙනස් වෙන්න තිබුනා.



13 comments:

  1. ගැටෞ දෙකක් තියෙනවා බතී.
    1. රජවීට ගහපු පැරේඩ් එක තිබුනේ ජනාධිපති මන්දිරේ ඉස්සරහ නේද..? එදා කොළඹ කොටුව ප්‍රදේෂය හැර, මුළු ලංකාවටම ඇඳිරි නීතිය දාලා තමයි ගේම දුන්නෙ. ප්‍රේමේ ඉන්දියාවෙද කොහෙද ගියා.

    2. ඉන්දියන් හමුදාව එලෙව්වේ ප්‍රේමදාස. ප්‍රභාකරන් නෙමෙයි. හැබයි උන් හිටියනම් ප්‍රභාට ගේම දෙන්නේ උන්. එහෙනම් චිත්‍රය මීට වඩා වෙනස් වෙනවා. මොකෝ චෙන්නායි වලට බෑනේ විරෝධතා දක්කන්න...

    ReplyDelete
    Replies
    1. 1.තැන ගැන ඔබේ මතකය නිවැරදි ඇති
      2.ප්‍රේමදාස ජනපතිතුමා ආයුද සැපයූවාට සටන් කලේ කවුද?
      ප්‍රභාකරන් හා ඔහුගේ හමුදාව? එතකොට කවුද ඉන්දියන් හමුදා එලෙව්වේ? උත්තරය, ප්‍රභාකරන් !

      Delete
  2. ඔව් ඒ තුවක්කුව තියන්න දැන් මහන්සි වෙන්නේ මොකටද කියල හිතෙන්නේ නැද්ද?? අර පරණ කෝට් එක ආයේ ඇදගන්න හදන්නේ ඒකයි..

    ReplyDelete
    Replies
    1. ඔව්, පරණ කෝට්?
      දේශප්‍රේමය, ඔව් මට් දැන් තේරේ.

      Delete
  3. ලාල්කාන්ත ත් තවම ඉන්නවා කියලා අපිට දැනෙන්න, එයත් මොනව හරි කියන්න එපැයි. ඒ පැත්තෙන් ගත්තහම එයත් එකයි, මර්විනුත් එකයි, බන්ධුලත් එකයි. ලයිට් බිලෙන් එයා අර්බුධයකට ගිය තැන, මේ වගේ ප්‍රකාශයකින් හරි එළියට එන්න ඕනෙ. මට නම් ඊට වඩා දේශපාලනයක් පේන් නෑ මෙතන.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ අය ඉන්නව දැනෙන්න මොනව හරි කියන්න එපායෑ?

      Delete
  4. ඉන්දියන් හමුදාව එලෙව්වේ ප්‍රභාකරන් නෙවෙයි. නියම විදිහට බලය පාවිච්චි කරලා ඉන්දියන් හමුදාවට ප්‍රභාකරන් වනසන්න තිබුනා. යුද කලාවේ තියනවා (යුද්ධය විද්‍යාවක් නොව Art of War කියලයි ලියන්නේ) reading the battle කියලා දෙයක් ඉන්දියන් හමුදාව වැරදියට තමයි පොත තේරුම්ගත්තේ. ඒ කාලයේ හමුදාවේ සිටි මම ඒක හොඳින්ම දන්නවා. ඉන්දියන් හමුදාවට ප්‍රබල ප්‍රහාර එල්ල වුණා එල්.ටී.ටී.ඊ එකෙන්. ඉන්දියන් හමුදාව හිතාගෙන ඉන්න ඇති, පාකිස්ථානය එක්ක කරන දේශසීමා සටන් වගේ කියලා ගරිල්ලා යුද්ධයත්. ඒ නිසා ඔවුන්ගේ නම්බුව රැකගන්න මෙහෙන් යන්න තීරණය කළා. තව හිටියානම් තවත් කනවා. ඉන්දියන් හමුදාව කල එකමදේ අපේ රටේ සෑම තැනකම සිතියම්ගත කරගෙන, අනාගතයේදී, ගුවන් ප්‍රහාර, මිසයිල් ප්‍රහාර, සඳහා ඉලක්කපත් සකසාගැනීමයි. පසුකාලයක වැඩිදුර පුහුණුව සඳහා ඉන්දියාවට ගිය අපිව පෙන්නලා, ඉන්දියන් හමුදාවේ උසස් නිලධාරීන්, ඉන්දියන් හමුදාවේ අපිට සමාන සහ උසස් නිලවල අයට කිව්වා, මේ මිනිස්සුන්ගෙන් ගරිල්ලා යුද්ධය ගැන ඉගෙනගනිල්ලා කියලා. තුවක්කුර කටුගෙයි තැබීම කොහොම වෙතත්, ඒ සොල්දාදුවා පෙන්වූව විරෝධය හරි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විචාරක මෙහි ආවාට. ඔබ කියන විදියටත් පිරහාරන් තමයි ලංකාවෙන් ඉන්දීය හමුදා පැන්නුවේ!

      Delete
    2. පම වී හෝ මෙම ලිපි කියවීමට ලැබීම පිබදව සතුටු වෙමි....විචාරක ඉතාම පැහැදිලි හා තර්කනුකුලව...සිතන ,,බලන,,හා ලියන ඇති දක්ෂ...ලියන්නෙකි....මෙතෙක් ඔහුගේ කිසිදු ලිපියකට එරෙහි වීමට කිසිදු කරුණක් මට හමුවී නොමැති නිසා ඔහුගේ අදහස් සමග එකග වෙමි....

      Delete
  5. ඉන්දියන් හමුදාවට සැරට වැදුනඑක හරි නමුත් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ මැදිහත්වීම නැති උනානං වඳුරු හමුදාව යන්නෙ නෑ.
    -රාජ්

    ReplyDelete
    Replies
    1. කොහොමත් උන්ව යැව්වේ එල් ටී ටිය විසිනුයි. මොකද් කියනවනම් ස්ටන් කලේ ඒ අයයි

      Delete
  6. ඉන්දියන් හමුදාව ගෙන්වන මොහොතේ සිටම එයට විරෝධය පෑවේ ප්‍රෙමදාස මහතායි. ඒ හමුදාව යැව්වෙත් ඒ මහතායි.

    ReplyDelete
    Replies
    1. ඔබ කියනව නම් හරි ඇති

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්