Followers

Thursday, July 18, 2013

ඉගිලෙන්න මාලුවනට Flying Fish ඉඩ දෙන්න, බලධරයිනි, පිළිකුල් කිරීමට පෙර කරුණාකර චිත්‍රපටය නැරඹුවාද?

මාළුවන් ඉගිලෙනවාට අපි විරුද්ධයි

ප්‍රංශ චිත්‍රපට උළෙල වෙනුවෙන් බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ප්‍රදර්ශනය කළ ඉගිල්ලෙන මාළුවෝ නමැති චිත්‍රපටයට විරෝධය පළ කරමින් ඊයේ (17 දා) ස්‌වයං රැකියා නියුක්‌තිකයන්ගේ සංගමයේ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක්‌ විහාරමහාදේවි ක්‍රීඩාංගණය ඉදිරිපිට සිට ප්‍රංශ තානාපති කාර්යාලය තෙක්‌ පෙළපාලියකින් ගමන් ගත් අයුරු.
ඡායාරූපය - කමල් බෝගොඩ
------------
ස්වයං රැකියා කස්ටිය බලලද මේ විරුද්ධතාවය ?????


----------------------------------------------------------------------------------------

"ඉගිල්ලෙන මාළුවෝ" ගැන තටු කැපූ සිනමාකරුවා කරුණු පහදයි

July 17, 2013  11:19 am
Bookmark and Share

නව පරපුරේ සිනමාවේදියෙකු හා ලේඛකයෙකු වන සංජීව පුෂ්පකුමාරගේ "ඉගිල්ලෙන මාළුවෝ" නම් සිනමා කෘතිය මෙරට ප්‍රදර්ශනය කිරීම මේවන විට තහනමට ලක්කර තිබේ.

අදාළ චිත්‍රපටය තුළින් රටට හා ආරක්ෂක හමුදාවන්ට අපහාස වන බැවින් එය වාරණයට ලක්කිරීමට හා ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කළ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා පවසා තිබිණි.

චිත්‍රපටයට කිසිදු සම්බන්ධයක් නොමැති ප්‍රවීණ ලේඛකයෙකු හා කෘතහස්ත ග්‍රන්ථ පරිවර්තකයෙකු වන ගාමිණී වියන්ගොඩ මහතාටද අභූත චෝදනා නඟමින් මඩ ප්‍රචාරයක් ගෙනයාමට ඇතැම් මාධ්‍යයන් කටයුතු කරද්දී සංජීව පුෂ්පකුමාර ස්වකීය නිර්මාණය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කරුණු දක්වා තිබේ.

සංජීව පුෂ්ප කුමාර විසින් එවන ලද මාධ්‍ය නිවේදනය පහත පරිදිය.



ඉගිල්ලෙන මාළුවෝ හෙවත් Flying Fish චිත‍්‍රපටිය සම්බන්ධයෙන් මාගේ ස්ථාවරය සහ කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය නිවේදනයයි!

මා අධ්‍යක්ෂණය කළ "ඉගිල්ලෙන මාළුවෝ" හෙවත් Flying Fish චිත‍්‍රපටිය සම්බන්ධයෙන් පසුගිය 12 වැනි සිකුරාදා සිට උද්ගත ව තිබෙන අසමතුලිත ප‍්‍රචාරණය හමුවේ මගේ පාර්ශ්වයෙන් කරුණු පැහැදිලි කිරීමක් අත්‍යවශ්‍ය ව තිබෙන බව හඟිමි. එදින රාත‍්‍රී 9.30 පටන් ස්වාධීන රූපවාහිනී ප‍්‍රවෘත්ති විකාශය ඔස්සේ මා පිළිබඳ වත් මගේ නිර්මාණය පිළිබඳ වත් ප‍්‍රචාරය කෙරුණු දෑ සියල්ල නිවැරදි කළ යුතු ව පවතී. එසේම පසුව විවිධ මාධ්‍ය හා වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රචාරය කෙරෙමින් පවතින තොරතුරු අභිමුව මාගේ ආස්ථානය පැහැදිලි කළ යුතුව පවතී.

(1) මෙම චිත‍්‍රපටය නිර්මාණයේ දී ශ‍්‍රී ලංකාව හෝ ත‍්‍රිවිධ හමුදා ඇතුළු ශ‍්‍රී ලංකාවට අයත් කිසිදු ආයතනයක් අපකීර්තියට හෝ අපසහුතාවට පත් කිරීම කිසිසේත් මගේ අරමුණක් වූයේ නැත. මෙහිලා මා උත්සුක වූයේ චිත‍්‍රපටියට වස්තු විෂය වන සියලූ පාර්ශ්වයන් පිළිබඳ සෑබෑ තත්ත්වය මානුෂික වූත් කලාත්මක වූත් නිරූපණයක් ලෙස ඉදිරිපත් කිරීම පමණි. මේ නිර්මාණ ක‍්‍රියාවලිය පුරා ම මා අනුප‍්‍රාණය ලැබුවේ මගේ ම ජීවන අත්දැකීම් සහ ඒවාට සහභාගී වූ මගේ පවුල, මගේ මිතුරන් හා මගේ ලෝකයට ආ ගිය විවිධ වූ මිනිසුන් වෙතිනි.

අවිගත් ත‍්‍රස්තවාදීන්, ඝාතන, සන්නද්ධ ගැටුම්, වෙඩි තැබීම් යනාදිය අවසානයකට පැමිණීමේ ප‍්‍රතිලාභ මා ඉහළින් ම භුක්ති විඳින බව ස්තුතිපූර්වක ව සඳහන් කරමි. මේ කෘතියට සම්පූර්ණයෙන්ම පාදක වූයේ කුඩා කල සිට ම යුද්ධයට ඍජු ව ම මැදි ව හැදී වැඩුණකු ලෙස මා ලද අත්දැකීම් සමුදාය යි. මා ජීවත් වූයේ දිවා කල රජයේ හමුදා විසින් ද රාත‍්‍රියෙහි එල්ටීටීඊය විසින් ද පාලනය කරනු ලැබූ ගමක ය. යුද්ධයට සහභාගී වූ දෙපාර්ශ්වයේ ම දායකත්වයෙන් දියත් වූ ගැටුම් නිසා හමුදාවකට සම්බන්ධ නැති ව තිබූ ජනකායකගේ ජීවිත ක‍්‍රමක‍්‍රමයෙන් උඩුයටිකුරු වෙමින් මිලිටරීකරණය වනු මම අත්දුටුවෙමි. එම මිලිටරීකරණය ඔස්සේ වඩා ආරක්ෂිත වනු වෙනුවට එන්න එන්න ම ජන ජීවිතය අනාරක්ෂිතභාවයට ඇද වැටෙනු ද එකල කුඩා දරුවකු ව සිටි මම ලෙස මම බලා සිටියෙමි.

මා මගේ අත්දැකීම් ඇසුරින් නිර්මාණය කර තිබෙන රූපරාමු රජය ගොඩනැඟූ ප‍්‍රතිරූප සමග නොගැළපෙන බව සැබෑවකි. මෙහි දී මා පෙන්නුම් කර ඇත්තේ මගේ ම ජීවන අත්දැකීම් පිළිබඳ යථාර්ථය යි. එය එසේ කළේ අවිගත් යුද්ධය නිමා වූ පසු සාමාන්‍ය ජන ජීවිතය ගොඩනැඟිය යුතු ව ඇත්තේ මේ යථාර්ථයේ සිට බැවිණි. ජන ජීවිතය නැවත ගොඩ නැඟීම කිසි දු මතවාදයක් මත පදනම් ව සිදු කළ හැක්කක් නො වේ. එය කළ හැක්කේ යථාර්ථයේ සැබෑ මුහුණුවර හඳුනාගැනීම මගින් පමණක් නො වේ ද? මගේ වෑයම වූයේ එම යථාර්ථය සමාජ කතිකාවක් බවට පරිවර්තනය කිරීම යි.

(2)මේ චිත‍්‍රපටිය නිර්මාණයට පෙර, නිර්මාණය අතවාරයේ දී හෝ පසු ව එල්ටීටීඊ ඩයස්පෝරාව සමග හෝ ඊට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන සමග හෝ වෙනත් කිසිදු සංවිධානයක් සමග මට කිසි දු සම්බන්ධයක් නොමැත. තව ද එවැනි කිසිදු පාර්ශ්වයකින් නිර්මාණකරණය හෝ අන් කිසිවක් සඳහා මා මුදල් ප‍්‍රතිපාදන ලබාගෙන ද නැත. එවන් කිසිවකු සමග මට මතවාදී සම්බන්ධයක් ද නැත. එබැවින් මේ පිළිබඳ ස්වාධීන රූපවාහිනියෙන් ඉදිරිපත් කරමින් තිබෙන ප‍්‍රකාශ හුදෙක් ගොතනු ලැබූ දෑ පමණක් බව ප‍්‍රකාශ කරමි.

(3) මේ චිත‍්‍රපටිය නිෂ්පාදනය සඳහා මුදල් ආයෝජනය කළේ Asia Digital Entertainment(Pvt.)Ltd සමාගම වෙනුවෙන් මනෝහර නානායක්කාර මහතා යි. චිත‍්‍රපටය නිෂ්පාදනය කළේ රුපියල් ලක්ෂ විසිපහක මුදලිනි. අනතුරුව නෙදර්ලන්තයේ රොටර්ඩෑම් ජාත්‍යන්තර සිනමා උළෙලේ හුබර්ට් බාල්ස් අරමුදල (Hubert Bals Fund) විසින් තුන්වැනි ලෝකයේ සිනමාකරුවන් සඳහා පිරිනැමෙන පසුනිෂ්පාදනය සඳහා වන ප‍්‍රදානයක් ලෙස යුරෝ විසිදහසක මුදලක් හිමි වූයේය. එම මුදලින් චිත‍්‍රපටිය සම්පූර්ණයෙන් ම නිමකරගත හැකි විය. මේ සියල්ල තිබිය දීත්, අද වන තුරුත් චිත‍්‍රපටයට දායක වූ ඇතැම් පාර්ශවයන්ට මුදල් ගෙවීම් කළ යුතු ව පවතී. රොටර්ඩෑම් ජාත්‍යන්තර සිනමා උළෙලේ මූල්‍ය ප‍්‍රදානයේ කොන්දේසිය වූයේ ලක්සම්බර්ග්, බෙල්ජියම, නෙදර්ලන්තය යන රටවල චිත‍්‍රපටියේ අයිතිය සහ එය ප‍්‍රදර්ශනයෙන් ලැබෙන ආදායම හුබර්ට් බාල්ස් අරමුදල සතු විය යුතු බව යි. මෙකී ප‍්‍රදානය ලබාගත් පළමු සහ එක ම ලාංකික සිනමාකරුවා මා නො වේ. එය මීට පෙර නිෂ්පාදිත චිත‍්‍රපටිවලට ද ලැබී තිබේ. එබැවින් මේ චිත‍්‍රපටියට ප‍්‍රංශ මුදල්, එන්ජී ඕ මුදල්, ඩයස්පෝරාවේ මුදල් ලැබුණු බව කීම අසත්‍යයකි.

(04) චිත‍්‍රපටය තුළ මම ආඛ්‍යාන තුනක් සංකලනය කොට ඇත්තෙමි. ඒවා යුද්ධයට දැනුවත් ව හා නොදැනුවත් ව සහභාගී වූ පාර්ශවවලට අයත් කතා බැව් චිත‍්‍රපටය නරඹන කෙනෙකුට පැහැදිලි ව පෙනී යනු ඇත. එසේ සිදු කෙරුණේ මා ජීවත් වූ ප‍්‍රදේශය තුළ මා අත්විඳි ස්වරූප තුනක ජීවන අත්දැකීම් කලා කෘතිය තුළට ගෙන ඒමේ අරමුණින් මිස චිත‍්‍රපටය කිසියම් පාර්ශ්වයකට පක්ෂ හෝ විපක්ෂ වූ නිසා නො වේ. එල්ටීටීඊය දෙමළ සමාජය මත ඇති කළ ඛේදජනක බලපෑම්වලින් සමහරක්, එනම් කප්පම් ගැනීම, දරුවන් බලහත්කාරයෙන් රැගෙන ගොස් සන්නද්ධ කණ්ඩායම්වලට බඳවාගැනීම සහ ඝාතන යනාදිය ද මගේ චිත‍්‍රපටයෙහි දැක්වේ. එම සන්නද්ධ ව්‍යාපාරයේ වූ කුරිරු ස්වභාවය මෙහි නිරූපණය වෙයි. සරල ව කියතොත් මගේ අත්දැකීම් ඔස්සේ මෙහි දී ප‍්‍රතිනිර්මාණය වූයේ සන්නද්ධ අරගලයක් තුළ සිදු වන සියලූ දුර්දාන්ත දෑ සහ මනුෂ්‍යත්වයට සිදු වූ හානියේ ස්වභාවය යි.

එහෙයින් ම මෙහි දී වැදගත් වූයේ ඊට සහභාගී වූ කිසියම් එක් පාර්ශ්වයක් නො ව මනුෂ්‍යත්වය සහ මනුෂ්‍ය ජීවිතවලට සිදු වූ හානිය යි. එවැනි නිරූපණයක් සිදු කරනුයේ ඒ ව්‍යසනයන් නරඹා සතුටු වීමට නො ව එම ව්‍යසනයෙන් ගොඩ ඒමට අවශ්‍ය දැනුවත්භාවය වගා කරගැනීමේ අටියෙනි. ඉගිල්ලෙන මාළුවන් යනු මනෝරාජිකයක් නො වේ; යුද්ධයකින් පසු සුන්බුන් ව ඉතිරි වූ මනුෂ්‍යත්වයේ සහ ජීවිතයේ සැබෑ ප‍්‍රකාශනයකි.

සංජීව පුෂ්පකුමාර

අධ්‍යක්ෂ

Flying Fish (ඉගිල්ලෙන මාළුවෝ)
--------------------

Description: PDFDescription: PrintDescription: E-mail
- සරත් විජේසූරිය
2013 ජූලි 17  06:30 p.m
Description: fying-span-articleLargeඉගිල්ලෙන මාලුවෝ (Flying Fish) නැමති චිත්‍රපටය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රදර්ශනය සඳහා ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් අනුමැතිය ලබා ගැනීමේ ලිපිකටයුතු හුවමාරු කරගත්තේ ප්‍රංශ තානාපති කාර්යාලය බව එම චිත්‍රපටයේ නිෂ්පාදක උපදේෂකවරයෙකු ලෙස කටයුතු කළ කැළුම් පාලිත මහීරත්න අද (17) පැවසීය. ඒ කොළඹ මහජන පුස්ථකාල මණ්ඩලයේ පැවති පුවත්පත් සාකච්ඡාවකදීය. එම අවස්ථාවට ධර්මසිරි බණ්ඩාරනායක, සරත් විජේසූරිය, කුසල් පෙරේරා, වික්ටර් අයිවන් ඇතුලු පිරිසක් එක්ව සිටියේය. එහිදී මහීරත්න මහතා පැවසුවේ මෙම චිත්‍රපටය විදෙස් සම්මාන උළෙල රැසක්ම නියෝජනය කර සම්මාන ලද බවයි. එම උළෙල සඳහා ඒ චිත්‍රපටය මෙරටින් පිට කිරීමට අවැසි සහතිකය ජාතික චිත්‍රපට සංස්ථාවෙන් ලබාගෙන ඇති බවයි. මෙම චිත්‍රපටය ගාමිණී වියන්ගොඩ මහතාගේ නම සම්බන්ධකොට පුවත් පළ කරත් ඔහු මේ චිතුපටයට කිසිඳු සම්බන්ධයක් නැතැයිද කීය. එහිදී සරත් විජේසූරිය මහතා කීවේ
ප්‍රංශ චිත්‍රපට උළෙලේ මෙම චිත්‍රපට පෙන්වීමට කටයුතු කරන්නේ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩල අවසරෙයෙන් බවයි. එසේනම් මීට වගකිව යුත්තේ ඔවුන් බව කීය.
වත්මන් ආණ්ඩුව මෙරට ජනතාව හා ජනමාධ්‍යවේදීන් නිවටයන් බවට පත්කරමින් සිටින බවත් මොවුන්ට පිස්සු හැදීගෙන එන බව තමන්ට පේන බවත් වික්ටර් අයිවන් මහතා කීය. 
Comments  

0#1 wasantha,israel 2013-07-18 13:38
victor ieven kiyanne 1971 kerelle nayakeyek.tave mona katade?mounta one maubima vinase venava balalla.


15 comments:

  1. මෙන්න ඇත්ත කතාව...

    Flying Fish හැදු මහකොටියා කවුද?

    ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති වාර්තාවන්ට අනුව සංජීව පුෂ්පකුමාර නැමැති දේශද්‍රෝහී චිත්‍රපට අධ්‍යක්ෂවරයා රණවිරුවන් අවමානයට ලක් කිරීම සඳහා තනා ඇති ‘ඉගිල්ලෙන මාලුවෝ’නොහොත් ‘ප්ලයින් පිෂ්’චිත්‍රපටය නිපදවීම සඳහා දෙමළ ඩයස්පෝරාවෙන් මුදල් ලබා ගෙන ඇත්තේ ‘මනෝහාන්’ නැමැති ද්‍රවිඩ ජාතිකයෙකු හරහාය.

    ස්වාධීන රූපවාහිනිය ට දේශද්‍රෝහී ද්‍රවිඩ ජාතිකයෙකු වන ‘මනෝහාන්’ ගේ සම්පූර්ණ නම ලක්ප්‍රිය මනෝහාන් නානායක්කාරයි. මොහු වත්මන් අගවිනිසුරු මොහාන් පීරිස් මහතාගේ මස්සිනා වේ. එනම් අගවිනිසුරු බිරිඳ ප්‍රියන්ති පීරිස් නානායක්කාරගේ එක කුස ඔත් සොහොයුරා වේ. දේශද්‍රෝහී මනෝහාන් යනු දේශප්‍රේමී රණවිරු මේජර් ජෙනරාල් ජගත් ඩයස් ගේ මහප්පාගේ පුත්‍රයායි.
    ලක්ප්‍රිය මනෝහාන් නානායක්කාර යනු ‘Asia Capital Insurance Brokers’සමාගමේ සභාපතිවරයා වේ. මොහු මේ වන විට චිත්‍රපට 5 කට ආසන්න ප්‍රමාණයක් නිශ්පාදනය කරන ලද්දෙකි. ඒ අතරින් සම්මානලාභී අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් ගේ ‘වෛශ්‍යනාවි’ සහ නීටා ප්‍රනාන්දුගේ ‘ස්වර’ චිත්‍රපට වේ. චන්ද්‍රන් රත්නම් අධ්‍යක්ෂණය කළ සුපිරි බොලිවුඩ් චිත්‍රපටයක් වන ‘Common Man’ චිත්‍රපටයේ නිශ්පාදකවරයාද වන්නේ මනෝහාන් ය. එම චිත්‍රපටය සඳහා මනෝහාන් වැය කර ඇති මුදල මිලියන 250 කි. ගාන්ධි චරිතය රඟ පෑ සුප්‍රකට ශ්‍රීමත් බෙන් කිංග්ස්ලි මෙහි ප්‍රධාන නළුවා වේ. චිත්‍රපට සඳහා මිලියන ගණන් වියදම් කර ඇති මනෝහාන් ‘ප්ලයින් පිෂ්’ දේශද්‍රෝහී චිත්‍රපටය සඳහා වියදම් කොට ඇත්තේ රුපියල් ලක්ෂ 25 කි.
    ලක්ප්‍රිය මනෝහාන් නානායක්කාර විවාහ වී සිටින්නේ චරණී නානායක්කාර සමගයි. චරණී යනු විශ්‍රාමික ජේෂ්ඨ පොලිස් අධිකාරී කාලයිල් මහතාගේ දියණියයි. චරණිගේ කලින් සැමියා වන්නේ ජනාධිපති රහස්‍ය මූල්‍ය උපදේශක ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනයි. සජින් වාස් ගුණවර්ධන ජේෂ්ඨ පොලිස් අධිකාරී කාලයිල් මහතාගේ දියණිය හා විවාහ වන්නේ තමන්ගේ මගෝඩි වැඩවලින් ආරක්ෂා වීම සඳහා ය. සජින් වාස් ගුණවර්ධන ගේම් කාරයෙකු බව දැන ගන්නා කාලයිල් මහතා තමන්ගේ දියණියව ඔහුගෙන් දික්කසාද කරවා ගෙන ඇත. සජින් වාස් ගුණවර්ධනට කළුබෝවිල පන්සල පාරේ පදිංචි කාලයිල් පවුලෙන් පලි ගැනීම සඳහා දැන් අවස්ථාව උදා වී තිබේ. ඒ අනුව මනෝහාන් ද්‍රවිඩ ජාතිකයෙකු වී දේශද්‍රෝහී චිත්‍රපට නිශ්පාදකයෙකු වී ඇත. මෙකී සමස්ථ ක්‍රියාදාමය පිටුපස සිටින්නේ අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනයි.
    සජින් වාස් ගුණවර්ධන පසුගිය දිනක ඔහුගේ සහචරයින් ලවා බලපිටියේ දී විපක්ෂ නායකවරයාට හූ කීවේය. එසේ කිරීමට හේතුව අපි දනිමු. 2001 වසරේ මැතිවරණයේදී ඔහු මැතිවරණ ප්‍රචාරයේ යෙදී සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාට ය. ඒ එවක එජාප භාණ්ඩාගාරික මිල්රෝයි ප්‍රනාන්දු මහතා සමග ය. ඉන්පසු ව්‍යාපාරික රවී විජේරත්න හරහා ඩුබායි හි ‘ට්‍රයිකෝ ’සමාගමේ රැකියාව ලබා ගත් ආකාරයත් එවක විපක්ෂ නායකවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතාට ‘ඩුබායි නයිට් ලයිෆ්’ පෙන්වා දීමෙන් ඔහුගේ තදබල විශ්වාසවන්තයා වූ ආකාරය පිළිබඳ සියළුම තොරතුරු අප සතුව ඇත. එම විස්තර ‘ප්ලයින් පිෂ්’ ප්‍රස්තූතයට අදාළ නොවන බැවින් මෙහි පල නොකරන්නෙමු. අදාළ අවස්ථාව පැමිණි විට එම තොරතුරු එකින් එක පල කිරීමට අප බලාපොරොත්තු වෙමු.

    - Lanka newsweb

    ReplyDelete
    Replies
    1. ලොක්ක වටේ ඉන්න කුහකයො දන්න කලා නිර්මාන.
      එවුන් තමන්ගෙ වාසියට මෙලොවට බිහි කරපු දෙමාපියන්ටත් ඇරල දාන ජාතියක්.

      Delete
    2. තව තව එලිවෙයි මෙහෙම යනකොට!

      Delete
  2. රටක් හැටියට අපි ආඩම්බර විය යුතුය.අපේ සිනමාව ගැන ආරක්ෂක අමාත්‍යංශය පවා අවධානයෙන් පසු වීම තුල සිනමාවට කෙතරම් රාජ්‍ය අනුග්‍රහයක් පවතීද ? ජැකාලා ආණ්ඩුවට කඩේ යන්නේ නිකං නොවන බව දැන ගත්තොත් හොඳයි!
    අනෙක අප සතු සිනමා රසිකත්වය, ස්වයං රැකියා කරුවන් පවා මෙතරම් සිනමාවට සංවේදී නම් තව කවර කතාද ?
    ටොම් හෑන්ක්ස්ලා ජැක නිකල්සන්ලා මාලන් බ්‍රෑන්ඩෝ ලා විතරක් නොව ගාමිණී ජෝලාත් මොන බිජ්ජන්ද ලෝකෙ හොඳම නළුවත් අපේ රටේ ඉන්නේ දැන්ය! උන්දැට ගෙයක් දොරක් දීල සලකපු විදිහට මේ රටේ කලාකාරයට තියෙන තැන කොහොමදැයි කියා ලෝකේ හොඳම නළුවා බිහිවූ රටෙන් කලාකරුවන් බිලී බා ගන්නට හදන බොලිවුඩ් හොලිවුඩ් හිඟන්නන්ට පෙනෙන්නට ඇත.එහෙවු ස්වර්ණමය කලා යුගයක් පුරිපුන් එළකිරි කලයක්ව බබලද්දී ඊට ගොම බින්දුවක් එක් කරන්නට මේ සංජීවයා හිතුවා මදිය.රට රටවල ගොස් සිනමාව උගෙන ඔලුව නරක් කර ගන්නේ මක්කටද අපේ රටේ පහුගිය අවුරුදු දෙක තුන හැදුනු රජ කතා ටික සිනමාව පිලිබඳ ප්‍රයෝගික විශ්ව කෝෂයකි!

    ReplyDelete
    Replies
    1. //ගොම බින්දුවක් එක් කරන්නට මේ සංජීවයා හිතුවා මදිය.//

      Delete
  3. ත්‍රස්තවාදීන් දේශපාලකයන් වන විට,දහස් ගණන් මීනීමැරූ මහකොටි දැන් ආණ්ඩුවේ ඉහළ තනතුරුවල වැජඹෙයි.ඒ ගැන කිසිවෙක් කතා නැත. එය හොද නම් චිත්‍රපටයත් සෑදීම වාරණය කරන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ වැනි දේ චිත්‍රපටයකවත් වෙන්නේ නැත.

      Delete
  4. ඔය කස්ටිය පෙළපාලි යන්නේ මේක බලලා වෙන්න ඇති. අර ඇමරිකාව ආණ්ඩුවේම යෝජනා ක්‍රියාත්මක කරන්න කිව්වා වගේ තමයි. කවුරුත් දන්නේ නෑ මොනවද යෝජනා කියලා, ඒත් ඇමරිකාවට විරුද්ධයි.

    ReplyDelete
    Replies
    1. ස්වයං රැකියා කස්ටිය ස්වයං උත්තේජනයේ යෙදීම,
      මොකක් හරි කමක් නෑ සිංහ කොඩි ගත්ත පෙලපාලියක්!

      පේමන්ට් වෙලඳුනට ප්‍රතික්ශේප කිරීමට සවියක් නැතිවා වෙන්න පුලුවන්, බලවතුන්ගේ කරුණාව මතවෙන්නැති රස්සාව රැඳී අත්තේ

      Delete
  5. ඔහෙලත්
    කතා කරනව මඟුලක්
    අතලඟ ඡන්දයක්!
    උතුරට බැරි වෙතත්
    තාමත් වයඹටත්
    හරියන දේශප්‍රේමේ
    විකුණන්න පුළුවන් තව කලක්
    ඒක වනසන්න
    ඉඩදිය හැකිද කාටත්

    තියන්නෙපා අත
    දේශප්‍රේමෙට----//

    ReplyDelete
    Replies
    1. ඇරපිය ලුසියා දොර.... පළවෙනි එකද...?

      Delete
    2. ආමි එකේ ඉන්න අයගෙන් වැඩි කොටසක් ඉන්නේ වයඹ කියනවනේ, ඒකනේ ජනරාල් තුමාගෙ පක්සෙත් ඉල්ලන්නේ!

      Delete
  6. පිලිතුරු ලියන්න පෙර මා Daily Mirror සමග සංජීව පැවත්වූ සාකච්ඡාව බැලුවා!
    පිලිතුරු ලියු හැමටම Maathalan, Kenji Ano1. Ano2, Thisra, Raj ස්තූතියි!

    ඉක්මනටම පිලිතුරු ලියන්නම්,

    ReplyDelete
  7. මේක තමයි සංජීවගේ චිත්‍රපටයේ ඇත්ත කතාව. මෙය තහනම් කිරිම හරහා මෙහි යම් අරමුණක් ඇතිබව පේන්වා.

    ReplyDelete
  8. මේ කරුණ ගැන නියම ප්‍රකාශයක් කලා මංගල සමරවීර මන්ත්‍රීතුමා.
    කොහොමත් මේ ආණ්ඩුව එදා ඉදන්ම රැදිලා තියෙන එකම සටන්පටේ ඔය පුහු දේශප්‍රමේ විතරයි.
    මේවා ගැන මේ විදියට ලියන කතා කරන අය දේශද්‍රෝහීන්.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්