Followers

Thursday, March 19, 2015

ජනවාර්ගික සුහදතා කොමිසමක්‌ පිහිටුවීමේ වැදගත්කම!

http://www.divaina.com/2015/03/20/feature01.html

මේ ආණ්ඩුව පත්වුනු අලුත අජිත් පැරකුම් ජයසිංහ ගේ බ්ලොග් එකක සාකච්ඡා වෙමින් තිබුන පැරණි 17වන සංශෝධනය යටතේ තිබුනු කොමිශන් සභා නැවත බලාත්මක කරන්න අවැසියි යන්නට සමාන මාතෘකාවක්. මා එහිදී කොමෙන්ට් එකක සඳහන් කලා කියල යම් මතකයක් තියෙනව සමානාත්මතා කොමිසම ට සමාන අදහසක්.

පහත දැක්වෙන්නේ එවැනි ලිපියක්. ගත්තේ දිවයින් පත්තරෙන්



-------------------------------

ජනවාර්ගික සුහදතා කොමිසමක්‌ පිහිටුවීමේ වැදගත්කම

කැඩී ඉරිතැලී ගොස්‌ සිsටින අපගේ සමාජයේ වාසය කරන විවිධ ජනකොටස්‌ සමීප කර ඔවුන් අතර අෙන්‍යාන්‍ය වැටහීමක්‌ ඇති කිරීමට යම් ක්‍රියාදාමයක්‌ ආරම්භ කිරීම ජාතියක්‌ ලෙසින් ලාංකික අප සැමගේ වගකීමකි. ලංකාව යනු විවිධ ආගම්, සම්ප්‍රදායයන් හා සංස්‌කෘතීන් තිබෙන රටක්‌ වන අතර ඒ සැම සියවස්‌ ගණනාවක්‌ ඉපැරණිය. එසේ වුවද, මෙහි වාසය කරන ජනකොටස්‌වලට අයත් එම සම්ප්‍රදායයන්, සිරිත් විරිත් හා අගයන් ගැන අෙන්‍යාන්‍ය ගරුත්වයක්‌ ඇති කිරීම පිණිස කිසිදු චිරස්‌ථායි ක්‍රියාකාරකමක්‌ මෙතෙක්‌ සිදු කර නොමැත. ජනකොටස්‌ අතර එකිනෙකා ගැන තිබිය යුතු මෙම වැටහීම හා සුහදත්වය යනු ජාතියක්‌ ලෙසින් අප ශක්‌තිමත් වීමට අතිශය වැදගත් සාධකයක්‌ වන නමුත් මෙය සඳහා කිසිදු ආයතනයක්‌ නිල වශයෙන් පිහිටුවන්නට කිසිවිටෙක කිසිදු රජයක්‌ උනන්දු වූයේ නැත.

ගතවුණු ශතවර්ෂ කිහිපයක විවිධ කාලපරිච්ඡේදවල මෙරට ජනකොටස්‌ අතර සුළු මෙන්ම දැවැන්ත ගැටුම් හා ලේ වැගිරීම් සිදුවුණු බව අපි සැම මනාව දන්නෙමු. විශේෂයෙන් ගත වුණු දශක කිහිපය තුළ මෙවන් වේදනාකාරී භේද හා ගැටුම් ගණනාවක්‌ම අප රටෙහි හට ගෙන, අප මවුබිමේ පැවැත්මට පවා දරුණු තර්ජනයක්‌ බවට ඒවා වර්ධනය වූ සැටි අපි දුටුවෙමු. මෙම කුරිරු ගැටුම් නිසා ජන කොටස්‌ සෑම එකකටම ගැඹුරු කැළැල් හා අමතක කළ නොහැකි අමිහිරි අත්දැකීම් උරුම වී ඇත.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමට තම අදහස්‌ දක්‌වමින් ජගත් බුහුමනට පාත්‍ර වී සිටින විද්වතෙකු මෙන්ම නීති විශාරදයකු වන විනිසුරු සී. ඡේ. වීරමන්ත්‍රී මෙම කරුණු ගැන අවධාරණය කර ඇත. සුවිශේෂී ලෙසින් තර්ක විතර්කවලට බඳුන්ව ඇති ප්‍රධාන ඉසව් දෙකක්‌ වෙතට වීරමන්ත්‍රී විනිසුරුවරයා අපගේ අවධානය ගෙන එයි. සාම අධ්‍යාපනය සහ විශ්වාසය ගොඩනැගීම මෙම ඉසව් ද්විත්වයයි. වත්මන් කාලවකවානුව වනාහි යෝජිත ජන වාර්ගික සුහදතා කොමිසමක්‌ පිහිටුවීමට ඉතාමත්ම යෝග්‍යතම කාලයයි. ඡන්ද පොරොන්දු ඉටු කිරීමේ පියවරක්‌ ලෙසින් වත්මන් රජයද 19 වැනි සංශෝධනය ලෙසින් ව්‍යවස්‌ථාවට සංශෝධන කෙටුම්පතක්‌ ඉදිරිපත් කර, එය ගැන දේශපාලන පක්‍ෂවල සහ මහජනයාගේ අදහස්‌ ද විමසා ඇත.

මාද රජයේ උක්‌ත යෝජනා අධ්‍යයනය කළ අතර ඒ අනුව ඇතැම් අදහස්‌ කිහිපයක්‌ ඉදිරිපත් කිරීම උචිත යෑයි සිතුවෙමි. 17 වැනි සංශෝධනය යටතේ ස්‌වාධීන කොමිසම් නැවත ගෙන ආ යුතුය. හා එය හරහා 18 වැනි සංශෝධනය අවලංගු කළ යුතුය යනු මාගේ අදහසයි. යෝජිත මේ සියලු කොමිසම් සභාවලට නිශ්චිත කාර්යභාර ඇති අතර ඒ සැම ඔවුන්ගේ අදාළ පරාසවලට සීමා කර ඇත. එසේ වුවද ජනකොටස්‌ අතර ඇති වන ගැටලුවලට අදාළ වැදගත් ඉසව් මේ මගින් ආවරණය වන්නේ නැත.

සමාජයීය හා සදාචාරාත්මක ඉසව්වල ප්‍රශස්‌ත මට්‌ටමේ දියුණුවක්‌ අත් කරගැනීමට නම් වත්මන් ලාංකික සමාජය විශාල කැපවීම් සිදු කළ යුතුව ඇත. අන්තවාදී කල්ලිවල අවතීර්ණය හා ඔවුන්ගේ පටු අරමුණු අත් කර ගැනීමට ඔවුන් ක්‍රියා කරන කාර්යක්‍ෂම විලාසය මිනිසුන් බොහෝ දෙනකුගේ හදවත් තුළ වෛරය රෝපණය කිරීමෙහි ජය අත් කරමින් සිටියි. මේ නිසා ගැඹුරු කැළැල් ඇති වෙමින් එය හරහා ජනකොටස්‌ අතර නිරන්තර ඈත් වීමක්‌ හට ගැනීමේ අවදානම වැඩි වෙමින් පවතියි. මෙම තත්ත්වය නැති කිරීම පහසු කාරියක්‌ නොවේ. සමාජ සංහිඳියාව ගොඩනැගීම උදෙසා පැහැදිලි ඉලක්‌ක නිශ්චය කර ගනිමින් හා සාමුහිකව ක්‍රියා කරමින් මනා ලෙස සම්පාදනය කරන ලද සැලසුම් ඉතා නැණවත් සහ මෘදු ලෙසින් ක්‍රියාවට නැංවිය යුතුය. එමෙන්ම මෙම කාර්යභාරය ජාතිය නැවත ගොඩනැගීමට අතිශය වැදගත් අවශ්‍යතාවක්‌ බවද අප සැම තේරුම් ගත යුතුය.

ඉතිහාසයේ මේ සඳහා නිදසුන් ගණනාවක්‌ දැකිය හැකිය. සමාජය, ආර්ථිකය හා භෞතික පරිශ්‍රය ආදිය මුල් කරමින් රටේ සිදු කෙරෙමින් පවතින සංවර්ධන ක්‍රියාවලි සේම මෙයත් ඉතා වැදගත් කරුණකි. මන්ද යත් ජනකොටස්‌ අතර සංහිඳියාවක්‌ නොමැතිව කිසිදු ඉසව්වක තිරසාර දියුණුවක්‌ සාක්‍ෂාත් වන්නේ නැති හෙයිනි.

මේ නිසා ජන වාර්ගික සුහදතා කොමිසම නමින් කොමිසමක්‌ පිහිටුවා ගැනීම ඉතා කාලෝචිත වනු හා ප්‍රයෝජනවත් වනු ඇත. එමෙන්ම යෝජිත මෙම ආයතනයට පුළුල් ක්‍රියාකාරී පරාසයක්‌ ද ලබා දිය යුතුය. තවද ප්‍රතිසන්ධානය මුල් කරගත් වැඩසටහන් සැලසුම් කර ක්‍රියාත්මක කිරීමද අවශ්‍ය වෙයි. නිදසුනකට, අෙන්‍යාන්‍ය වැටහීමට දිරි දෙමින් එය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙන්ම සියලුම දේශීය පැතිකඩවල ඇති විවිධත්ව පිළිගනිමින් එය ඉවසා ගැනීමේ ආකල්පයද සැමතුළ රෝපණය කිරීම හරහා සියලුම ජන කොටස්‌ අතර ආරක්‍ෂාව පිළිබඳ විශ්වාසයක්‌ ඇති කිරීම හා ජනයාගේ සමාජ, ආර්ථික, සංස්‌කෘතික සහ දේශපාලන දිවියෙහි සියලුම ජනකොටස්‌ සහභාගීත්වය උනන්දු කිරීමේ වගකීම මෙම කොමිසමට නතු කළ යුතුය.

සංහිඳියාව හා එක්‌සත් බව උනන්දු කරන අධ්‍යාපන හා පුහුණු වැඩසටහන් මෙන්ම පර්යේෂණ ව්‍යාපෘති ආදි කිසිවක්‌ මේ දක්‌වා අර්ථවත් ලෙසින් සැලකිල්ලට ගෙන නොමැත. මේ සියල්ල පාසල් අධ්‍යාපනයට ඇතුළත් කිරීමටද ක්‍රියා කළ යුතුය.

අප සැදුම් ලැබ ඇති මෙම බහුවිධ සමාජයේ ආගමික, සංස්‌කෘතික සහ අන් ආකාරයේ විවිධත්වයන්ට අෙන්‍යාන්‍ය ගරුත්වයක්‌ නිර්මාණය කර එයට දිරි දෙන අතර සමගිය හා සමාදානය තහවුරු කරන සමථනය, ප්‍රතිසන්ධානය, මැදිහත්වීම වැනි ගැටලු විසඳීමේ ක්‍රමෝපාය ද ප්‍රවර්ධනය කළ යුතුය. මෙයත් සමගම මෙම කරුණු සඳහා යාන්ත්‍රණ සහ ක්‍රමවේද ද සම්පාදනය කළ යුතුය.

මේ අනුව මෙම යෝජිත කොමිසමට පුළුල් ක්‍රියාකාරී පරාසයක්‌ තිබෙනු ඇත. මෙය වඩාත් ඵලදායී වීමට සියලුම ආගම් හා භෞමික ප්‍රදේශවලට අයත් වන්නන්ගේ සාමාජිකත්වය හා දායකත්වය මෙම ආයතනයට තිබීමද අතිශය වැදගත්ය. ගුයානාවේ මෙම මොඩලය ජයග්‍රාහීව ක්‍රියාත්මක කර ඇති අතර, ශ්‍රී ලංකාවේ ද මෙය සාර්ථකව ක්‍රියාත්මක කරන්නට හැකි නම් එය අප වැනි බහු වාර්ගික අන් රටවලට ද එය ආදර්ශයක්‌ වනු ඇත.

එස්‌. ඒ. සී. එම්. සුහයිල් කුවේට්‌හි හිටපු ලංකා තානාපති



11 comments:

  1. යුද්ධය ඉවර කරපු ගමන් කරන්න තිබුණ පළවෙනි ම වැඩේ

    ReplyDelete
    Replies
    1. අඩුම තරමින් ප්‍රමුඛතා ලැයිස්තුවට දාගන්න තිබුන.

      Delete
  2. ජාතීන්ගේ එකමුතුව වෙනුවෙන් සිවිල් සමාජය සතු කාර්යභාරය රජයේ එකට වඩා දෙවෙනි වෙන්නෙ නෑ. අපිට ඕනෑ විශාල මහජන ව්‍යාපාරයක් සියළුම භේදවාදීන්ට එරෙහිව ගොඩ නගන්න.. කව්ද ඒක කරන්නෙ ? අඩුම ගනනේ ජාලය හරහාවත් කරමු..

    ReplyDelete
    Replies
    1. ඔව්,සරත් අයියා අපි හිතනවාට වඩා දෙයක් ජාලය හරහා කරන්න පුළුවන්.අපිවත් එක කරන්න පටන් ගමු.

      Delete
    2. සරත් හා මනෝජ්
      අපි කල යුතු දෙයක්

      Delete
  3. කොමිසම් නම් ඇතිවෙලා.. මොනව හරි වැඩක් තමයි කෙරෙන්න ඕනි.. ඒත් ඉතින් නිකම්ම වැඩ වෙන්නෙත් නෑනේ.. :(

    ReplyDelete
    Replies
    1. ඔව්, ක්‍රමවේද හා යාන්ත්‍රණ හැදිය යුතුයිනේ.

      Delete
  4. කොමිසමක් විතරක් නෙමෙයි.රටේ පාසල් අධ්‍යාපනයටත් ඇතුලත් කල යුතුයි විශයක් විදිහට.දැන් ඉන්න ජාතිවාදී ගොබිලන්ව හදාගන්න බැරිවුනත් ඉස්සරහට එන පොඩි එවුන්ටික හරි අපිට හදාගන්න පුළුවන්වෙයි එතකොට.එතකොට උන්ටික හරි එකතුවෙලා මේ රට හදයි.

    ReplyDelete
  5. ආණ්ඩුවකට මේ සම්බන්ධයෙන් කරන්න තියෙන්නේ ජාතික මට්මෙන් නිදහස් වෙළඳපොල ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම විතරයි .
    උදාහරණයක් හැටියට ලංකාවෙ මුස්ලිම් මුදලාලි කෙනෙක් තම ලාභය යොදවා දුප්පත් මුස්ලිම් වරුන්ට ගේ දොර හදා දීම මඟින් ගැටලුවක් මතුවන්නේ නෑ
    නමුත් අරාබි රජවරුන්ගේ ආධාර අරගෙන මුස්ලිම් ගම්මාන සෑදීම සාමයට තර්ජනයක්.
    ඒ වගේම ලංකාවෙ දෙමළ මිනිහෙක් පිටරටක රැකියාවක යෙදී ලංකාවේ නෑයන්ට මුදල් එවීම ගැටලුවක් නෙමෙයි, නමුත් විදේශ රටක දේශපාලන රැකවරන ලබන කෙනෙක් මෙහි දෙමළ මිනිස්සුන්ට ආධාරයක් කිරීම ගැටලුවක්.
    ආණ්ඩුව මෙම කටයුතු අවහිර කල යුතුයි

    ReplyDelete
    Replies
    1. මේවා ප්‍රතිපත්ති හා නියාමන ගැටලුනේද?

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්