Followers

Friday, August 7, 2015

පොර ආයි එයිද? කවුරු දිනයිද ?



ඔබාමගෙ ජොබ් එක ගන්න ෆයිට් කරන ඔබාමගෙ දෙවැනිය, ඒ කියන්නේ හිලරි ක්ලින්ටන් පසුගිය දවසක එයාගෙ පෞද්ගලික ජීවිතය ගැන ඩිංගිත්තක් විවෘතව කතා කලා. ඇයගේ මව් හවුස්මේඩ් කෙනෙක් විදියට වැඩකලා කියල කොලයක් බලාගෙන කිව්ව, ඉලෙක්ශන් වේදිකාවේ, ඒ නෝනගෙ අම්ම  මොනවද කලේ කියල හරියට අමතකවෙලා වගේ තමයි පෙනුනේ. ඒ අතින් අපේ නව මුහුණුවරකින් මෙවර කරළියට ඇවිත් තිබෙන ජවිපෙහි නායකය, එයාගේ පුද්ගලික ජීවිතයේ බිඳක් බෙදාගත්ත විදිය  සිංහලෙන් කියනව නම් ජෙනුයින්ය, අව්‍යාජය. අර අනුර සමගම එකට හැදුනු සිය ඥාති සහෝදරයගේ කතාව ගැනයි මං කීවේ.

2015 ලංකාවේ අගෝස්තු මහ ඡන්දෙදි ජේ වී පී කෑම්ප් එකේ ඇරෙන්න ලොකු වෙනසක් ; කතාකරන්න තරම් වෙනසක් අනෙකුත් කෑම්ප්වල ඇතිවෙලා වෙලා නෑ.

අර කියමනක් තියෙන්නේ ළමෙක් හදන්න ගමක් ඕනෑ කියල.
ජවිපෙ ළමයාව හදාගන්න ගමක්, රටක් නොව ලෝකයක්ම ඕන උනා. අන්තිමේදී කොලුව ලොකුවෙලා රජුන් තනන්නා බවට පත් උනා. බල්ලො නාවන්න වගේ මහින්දව යුද්දෙට ඇදගෙන ගියා. (ඒ වගේමයි යූ එන් පියත් හැංගී හැංගී තමයි හිටියේ. අන්තිමට වාමාංශිකයින්ට සිරිකොතටත් යන්න උනා නින්දෙන් ඇහරවන්න.) 2004 , 2005 හරියෙ එල්ලෙන්න වැලක් නැතුව හිටිය මහින්දව උස්සල තිබ්බ. ඊට ප්‍රථම චන්ද්‍රිකාවත් උස්සල තිබ්බ.  2010දී  සරත් ෆොන්සේකව උස්සගෙන ගියා මහින්දට විරුද්ධව.
                                           
ජවිපෙට දැන් අනුන්ගේ කඩවලින් බඩු අරගෙන දැන් ඇතිවෙලා වගේ. තමන්ගෙම කඩයක් දාන්නයි දැන් පැලෑන. නරක නෑ. බලමු ගොනා විකුණලද කියල තව ටිකක් කල් යන්න දීල. ඒවගේම පරණ හැව ගලෝලම දාල වගේ. වෙළඳ ආර්ථික ප්‍රතිපත්තිය පිළිගන්නව. පුද්ගලික අංශයේ මැදිහත්වීම පිළිගන්නව. කලාකරුවන්ගේ, ව්‍යාපාරිකයින්ගේ, බුද්ධිමතුන්ගේ හා වෘත්තිකයින්ගේ ආදී නොයක් සමාජ තරාතිරම්වල පිරිස් ජවිපෙ දෙසට ආකර්ෂණය දිනාගන්නට සමත්වෙලා තියෙනව. (හැබැයි ඉතින් ජවිපෙ නියම මූන බලාගන්න ජාතික ප්‍රශ්නය මතුවෙලා එන්න ඕනේ ) සිරි අයියා නොහොත් සෝමවංශ නම් කියන්නේ ජවිපෙ දැන් ඇමරිකන් වෙලා කියලාය. සිරි අයියා අහන්නේ මේ ප්‍රතිසංස්කරන අපි මහලොකුවට බදාගත්තට කොයි-කාලෙකටද කියලයි. 17වෙනි සංශෝධනේ තිබුනේ කී කාලෙද? සිරි අයිය අහනව. පෙරටුගාමීනූත් ඒ ප්‍රශ්නෙම අහනව. 19 හෝ  20 හි ආයුෂ කොපමණ වේවිද? ඇත්තටම අනුර කුමාර කියනව මට මතකයි, ජනතාව දේශපාලන පක්ශවලට කොන්ත්‍රාත් දීල බලාහිටියොත් වැඩ වරදිනව කියල. ඒ නිසා ජනතාව අවදිව සිටින ප්‍රමාණයටයි අපේ අයිතිවාසිකම් රැකෙන්නේ. ඒ සිරි අයිය ප්‍රශ්නෙට උත්තරේ එතැන තියෙනව.

මහින්ද ආයි අගමැති වෙන්නේ නෑමයි දිවුරා කියන ජ්‍යෙතිශවේදී ඉන්දික තොටවත්ත කියන්නේ ඔහු ලිබරල් ආර්ථිකයට කැමති නෑ කියලයි. වාසු කියන්නේ මෛත්‍රී බලාපොරොත්තුවන  හැමෝම එකතුකරගෙන හැමෝටම ගැලපෙන ආර්තිකයක් ගොඩනැගීමට කතාකිරීම විහිලුවක් බවයි. යූ එන් පිය නිදහස් වෙළඳ ආර්ථිකයක් ගැන විශ්වාස කරන අතර අනෙක් කොටස් එය විශ්වාස නොකරයි. ඒ උනත් වසා දමා තිබුනු හිඟුරාන සීනි කම්හල මේ ආන්ඩුව යටතේ නැවත ඇරඹුනු බව කියනවා. බාහුත් කියල තිබුනෙ නසසපයත් යම් කොන්දේසි යටතේ ප්‍රජාතාන්ත්‍රික විප්ලවයට සහය දෙන්න කැමතියි කියලයි.
                                                                  * * * *

මේ දිනවල ලංකාවේ දේසපාලනේ ගැන උනන්දුවක් තියෙන සෑම කෙනෙකුම තුළ
 කැකෑරෙන ප්‍රස්නේ තමයි!

ආයේ පොර එයිද?   ආයේ පොර එයිද?      ආයේ පොර එයිද?

ඇවිත් තුන්සරණයි, දෙවි පිහිටයි කියල මයිත්‍රීව හිරේ යවල හිටං වැඩ පටං ගනීද කියල.

ජනවාරි 8දා සිදුවූ ඒ මහ නිහඬ විප්ලවය
ජනතාව තැබූ බලාපොරොත්තු
මරබියෙන් තොර සාමකාමී නිදහස් රටක්
තියෙන දෙයක් කාල ඔහේ වැටිල ඉන්නතැනක් වෙනුවෙන් ජනතාව දේශපාලකයින් කෙරේ තැබූ විශ්වාසය
විනාශ වේවිද? නැවතත් ගොම රිටි උඩ ඇවිත් උපාසක ඇඳුම් අඳින මිනිමරුවන් කුඩුකාරයින් ගුරුවරුන් දණගස්වන එවුන් නැවතත් රජවේවිද?  නීති විද්‍යාලයේ විදුහල්පති විසින් හොර නීති උපාධිය පුදා නොනැනවතී හොර ඇදුරන් විසින් ආචාර්‍ය උපාධියත් පුදදේවිද? තමා විසින්ම මිනිසුන් ගස් බැඳගනීවිද? කැලෑවල්වල එයා පෝට් හදයිද? සුදු වෑන් මිනිමරුවන්ව පොලෝසියෙ ලොක්කොම ඇවිල්ල බේරගෙන යන රටක් යලි ඇතිවෙයිද? අපේ බදු මුදල් වලින් අපිටම දන්සල් දෙන, අයවැයෙන් 70%ක පාලනය එක පවුලක් යටතට පත්වෙයිද?

කවුරු දිනයිද, මහ ඡන්දෙන්? මෙවැනි දුස්කර ප්‍රස්නෙකටත් සරල වචන දෙකේ තුනේ උත්තර තියෙනව. 

කියන්න බෑ අනේ!,
දන්නේ නෑ අනේ!, 
ටයි ටයි වගේ නේද, 
ෆොටෝ ෆිනිශ්.
පාලක පක්ශය දැනටමත් පත්වෙලා ඉවරයි, දැන් තියෙන්නේ විරුද්ධ පක්ශය තෝරන්නයි ?

ආදී වශයෙන් මොකක් හෝ කටට එන දෙයක් කියල ශේප් වෙන්න පුලුවන්.
එහෙත් දයල් බතී වැනි ලූලා නැති වලේ පණ්ඩිතයෙක්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තුවෙන නිසා සූටිත්තක් එහාට එහාට යන්න බලාපොරොත්තුවෙනව.

කිව්වම මොකෝ. මාත්  මීට අදාල ප්‍රවෘත්ති, චන්ද ප්‍රතිපල, බ්ලොග් සටහන් හා කොමෙන්ට්ස්ද,
සාකච්චා හා සම්මන්ත්‍රණවලට සවන්දීමෙන් මක්ක වෙයිද කියල බලාගෙන
ඇන්ටෙනා එක 24/7  දාගෙනම තමයි ඉන්නේ.
 මේ අතරතුර පරණ ඡන්ද ප්‍රතිපලත් බැලුව.

එක්සත් ජනතා නිදහස් සන්ධානය විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කළ 2010 මහ ඡන්දෙ ප්‍රතිපල,
ඉන්පසුව පැවතුනු පලාත්සභා ඡන්ද ප්‍රතිපල ,
(ඒවා අතරින් රෙජිමයේ බලපරාක්‍රමය පල්ලමට යෑම ඇරඹුනු ඌවේ ඡන්දය විශේෂිතයි.)
ජනවාරි 8දා ජනතා විජයග්‍රහනයේ ඡන්ද ප්‍රතිපල

2010යේ රටේ තත්වය එමෙන්ම
2015දී අවුරුදු 9ක පාලනයෙන් පසු රටේ කෑකෑරෙන ප්‍රශ්න හා තත්වය. ප්‍රතිපක්ශ දේශපාලන නායකයින්ගේ විශ්වාසය, තර්කයේ නිරවද්‍යභාවය සන්නිවේදනය, අධිෂ්ටානය හා කැපවීම ගැනත් හිතුව. පොර ආයේ ඒවිද යන්නත් සලකා බැලුව

මහින්ද ලොක්ක අගමැති නොවන පැත්තට ගොඩ නගන තර්ක.

1. ජනවාරි 8දා ඔහු ඡන්දෙට ආවේ ගන්න පුලුවන් හැම වාසියම අරගෙන. එහෙම වෙලත් පැරදුනු එකේ හුලං ගිය මහින්දට එජනිසෙ ගොඩදාගන්න පුලුවන් වෙයිද, බෑ!
2. ජනපති මෛත්‍රීගේ ආශිර්වාදය නොලැබී යාම හා මෛත්‍රී ප්‍රසිද්ධියේ මහින්දව ප්‍රතික්ශේප කිරීම.
3. එජනිපය හා ශ්‍රීලනිපය මහින්ද පාර්ශවය හා මෛත්‍රී පාර්ශවය ලෙස දෙකට කැඩීම
4. ජනවාරි 8 දාවන විට සිටි එදා ආණ්ඩුවේ පතාක යෝධයන් අද චෝදනාවලට ලක්ව නීතියේ දඬු අඬුවට අසුව තිබීම
5. රාජපක්ෂවරුනට එල්ලවී ඇති චෝදනාවල බරපතලකම- මහින්ද පාක්ෂික ඡන්දදායකයින්ගේ විශ්වාසය බිඳී යාම
6. මහින්දට හා එජනිපෙට එරෙහිව ගොඩනැගී ඇති පුලුල් පෙරමුණේ විශාලත්වය හා නායකයින්ගේ විශ්වාසය හා අධිශ්ඨානය
7. රනිල් ඇතුලු යහපාලන කණ්ඩායම සිය බලය පතුරවමින් තිබීම
8. එජනිපෙ ශ්‍රීලනිපෙ බුලත් කොලේ යම් ප්‍රමාණයක ආසන දිනාගත්තා වුවද මෛත්‍රී කණ්ඩායම හා අප්පච්චි මලෝ කණ්ඩායම පැති මාරුකර ජාතික ආණ්ඩුවක් හැදීමට ඇති හැකියාව.

දැනට පෙනෙන තත්වය අනුව නම් ද්‍රවිඩ සන්ධානය හා ජවිපෙ ආසන 30ක් පමණ සතුකරගන්නා බැවින් දැනට තිබෙන අවාසිදායක තත්වය හමුවේ එජනිපෙ 113ක් ලබාගනීවි යයි හිතන්නට අමාරුයි. ඌවේන් නැගගෙන ආ රටාව අනුව හා පවතින වාසිදායක තත්වය අනුව යූ එන් පියට පමණක් මුලු ඡන්ද ප්‍රමානයෙන් 40%ක් පමණ ලබාගත හැකි වනු ඇත. යහපාලන සන්ධානයට එක්වූ හෙල උරුමය, හිරුනිකා, රාජිත හා අර්ජුනගේ  බලය නිසා එය 50%ට ලංවනු ඇත. යම් හෙයකින් යම් වැඩි ආසන සඞඛ්යාවක් මහින්ද ප්‍රමුඛ සංධානය දිනාගත්තද ඉහත 8 වෙනි කාරනාව නිසා වැඩක් නොවනු ඇත.

අපේ සහෘදයන් විසින් මා නොදුටු පැතිගැන සිතා බලා තවත් මේ සංවාදය පෝෂණය කරනු ඇතැයි සිතමි.



13 comments:

  1. බලමු කවුරුහරි අහයිද කියල “ඇයි මහ බැංකුවෙ කේස් එක ගැන ලිව්වෙ නැත්තෙ?“ කියල

    ReplyDelete
  2. කියන්නන්වාලේ නොකියා පොඩි විශ්ලේශණයක් ඉදිරිපත් කිරීම හොදයි..මටත් තාම තියෙන ප්‍රශ්නෙ? ලොක්කා එයිද ආයේ.අප්පච්චිගෙ පැත්තට තියෙන ලොකුම තුරුම්පුව ජාතිවාදය.මං දන්න බුලත් හපේට සප් කරන හැමෝම වගේ ජාතිවාදියො.

    ReplyDelete
  3. අපේ මහා භෞතික විද්‍යාඥ විමල් වීරවංශ මහතා අළුත්ම භෞතික විද්‍යා මතයක් ඉදිරිපත් කරල තිබුන ලන්කා සී නිව්ස් වෙබ් අඩවියේ , මෙන්න ඔහුගේ භෞතික විද්‍යා මතය " ප්‍රභාකරන් සිටි ගුරුත්ව කේන්ද්‍රය මතට සතුරා විසින් මහින්ද රාජපක්ෂ ‍රැගෙන ඇවිත්" කියන මතය. ඔන්න ඔය කියන ගුරුත්ව කේන්ද්‍රය චුට්ටක් එහෙ මෙහෙ උනොත් මහින්දව වැටෙනව. බැරිවෙලාවත් එහෙම උනොත් මහින්දට කෙල වෙනව.

    ReplyDelete
  4. රනිලුන් 2004 දී මෙන්ම මෙවරත් ලැබුණු පුල්ටොස් එක යෝකරයක් බවට පත් කර නොගන්නට මෙය තනි අශ්වයාගේ සටනක් වීමට තිබුණි.යූ ඇන් පීය චන්ද ව්‍යාපාරය පටන් ගන්නා විට සන්ධානය සිටියේ බුලත් කොළෙත් ෂුවර් නැති තැනකය.පසුව චන්ද සටන පටන් ගත්තේ ගැටුම් බෙදුම් මැද ටීම් දෙකක් විදිහටය.එහෙත් සුපුරුදු පරිදි රනිල් සිය උද්දච්චකම සහ ඩීල් මතම විශ්වාසය තැබීම මත මේ වාසිදායක තත්වයෙන් ප්‍රයෝජන නොගත්තේය.රාජපක්ෂ කඳවුරට එරෙහි ආයුධ ඕනෑවටත් වඩා තිබියදී ඒවා නිසි ලෙස පාවිච්චි නොකරේය. ඒ වෙනුවට සිය ගජ මිතුරු ක්‍රියා කලාපයන්හි ප්‍රතිපලයක් ලෙස වැලේ වැල් නැතිව සිටි රාජපක්ෂ කඳවුරට ආයුද සැපයීය . ( බැඳුම්කර සිදුවීම) .රාජපක්ෂ කඳවුර සුපුරුදු ලෙසම ජාතිය ආගම සහ දේශප්‍රේමය හොඳ හැටි අලෙවි කරමින් ගේමට බැස්සේය.අවසාන ප්‍රතිපලය කරට කර සටනකි.වෙනදා මෙන් රාජ්‍ය බලය මැතිවරණය සඳහා යොදා ගත නොහැකි වීමත් සන්ධානයට වාසියකි.ජවිපෙ චන්ද සටන ඇරඹුවේ ජනාධිපතිවරණය ඉවර වෙනවාත් සමගය.මෙවර ඔවුන් වෙනස් මානයකින් සටනට පිවිස ඇත.සුපුරුදු ගැමි, කම්කරු,සිසු තෙල බෙදීම වෙනුවට සිය කොම්ෆෝර්ට් සෝන් එකෙන් එළියේ සිටිනා ජන කොටස්ද ආමන්ත්‍රණය කරති.ජාතික ලැයිස්තුවට නව අරුතක් දී ඇත.එහෙත මේ රටේ බහුතරයක් ජනතාවට ජවිපෙට කතිරය ගසන්නට තවම ගටක් නැත.රැස්වීම් වලට ඉන්නා සෙනග චන්ද ප්‍රතිපල වලින් නොපෙනෙන්නේ ඒ නිසාය.මෙවරත් ඔවුන් ආසන 10 කට එහා යනු ඇතැයි සිතිය නොහැක.අනික් පැත්තෙන් උතුරේ සහ නැගෙනහිර ජනවාරි 8 හංසයාට වැටුණු චන්ද බහුතරයට දෙමල සන්ධානය වග කියනු ඇත.නොබෙදුණු රටක් ගැන කතා කරන හැමෝම මේ ගැන ලජ්ජා විය යුතුය උතුර සහ නැගෙනහිර බහුතරයක් දිනා ගන්නට ජාතික යයි කියන පක්ෂ වලට නොහැකි වී ඇත.සන්ධානය කොහොමත් චන්ද කරන්නේ උතුරු නැගෙනහිර අතහැරය.එහෙම බැලුවාම මෙවර දෙමල සන්ධානය සහ ජවිපෙ පාර්ලිමේන්තුවේ තීරක බලය වීමට බොහෝ දුරට ඉඩ තිබේ.මහින්ද මුත්තා 120ක් ගැන පුරාජේරු වැනුවත් කිසිදු පක්ෂයකට ආසන 113 ඉක්මවිය නොහැකි යයි සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත පෙරේදා බී බී සී යට කීවේය.

    ReplyDelete
  5. පොර ආයේ එන්නේ නැත. පොර මේ චන්දෙදි දෙවෙනි සැරේටත් කෙලවා ගන්නවාය. ඊට පස්සේ පොර අයින් වෙනවාය. පොර ඉස්සරහට දාගෙන පොරගෙන් ගොඩ යන්න බලපු හැතිකරේ පීචං වෙලා බ්ලාස් වෙනවාය.

    ReplyDelete
  6. 03 August 2012
    අසුනවයේ භීෂණයේ භයංකාරත්වය මගේ ඇසින් (භිෂණයේ අදුරු මතකය)උපුටා ගැනීම : http://chami4u.blogspot.com/2012/08/blog-post.html


    මේ කාලය ගැන 85න් පස්සේ ඉපදුන අයට හිතාගන්නවත් බැරි වෙයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇනෝ ලින්කුවට..ගොඩාක් දේවල් ගැන දැනගත්තා.

      Delete
  7. මක්ක නැතත් එක දෙයක් නම් පැහැදිලිවම සිද්ද වෙනවා...

    මහින්දත් එක්ක රට කාපු හැත්ත බුරුත්තම ආයෙත් පාර්ලිමේන්තු එනවා.. බන්ඩාරනයක පැතු ළෝකය කිසි අඩුවක් නැතිව මේ සැරේ සිරි ලංකා නිදහස් පක්ෂයෙන් එනවා...

    අප්පච්චි වලෙන් නැගිටලා ඇවිත් බනියි කියලා නහයෙන් කටින් හොටු පෙරාගෙන අඬාපූ උන්.. උගේ අප්පච්චිට හෙන ගැහුවත් කමක් නෑ කියලා, ජාතියේ අප්පච්චිට දන ගහලා ඉස්ටේජ් එක උඩදි වඳින්නේ ඒකයි...

    ලංකාවේ ඉන්න නියම අම්බරුවෝ ගාන මේ ඡන්දයේදි පැහැදිලිවම දැක ගන්න පුළුවන් කිසි අවුලක් නැතිව...

    ReplyDelete
  8. කාටවත් 113 සරල බහුතරය ගන්න පුළුවන් වේවි කියලා මම හිතන්නේ නැහැ.නමුත් බහුතර ආසන ප්‍රමාණයක් දිනා ගැනීමේ හැකියාව තියෙන්නේ එක්සත් ජාතික පෙරමුණට.ඒ නිසා පොර ආයි එන්නේ නැති වේවි.සිරි අයියා පක්‍ෂයෙන් ගිය එකෙන් වෙන එකම දේ මේ ගමන ජවිපෙ එකට එක ජන්දයක් අඩු වීම විතරයි කියලා තමයි අපේ ලාල් කාන්ත අයියා නම් කිව්වේ.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. රටේ දු පුත්තුන්ගේ විතරක් නෙමෙයි මිනිහාගේම දරුවන්ගේ අනාගතයත් කාපු අප්පච්චි කියන මුසලයට ආසන 90 කට වඩා දිනා ගැනීමට නොහැක. පුදපු ගමන් කාපි යකා කිව්වා වගේ මාස 6න් භාණ්ඩාගාරයෙන් මිලියන 600 ක සුපුරුදු ගසා කෑම පටන් රනිල්ටද මන්ත්‍රී ආසන 100 ක් පමක් ගත හැකි වන අතර ඉතිරි අසන 45 හෝ 40 ජවිපෙ සහ දෙමල සන්ධානය අතර බෙදීයාම වලක්වාගත නොහැක. මේ අතර නව ජවයකින් , දුෂණ වංචා එළිදක්වමින් මැතිවරණ ප්‍රචාරණයේ දී සිටින ජවිපෙට පාලන බලය ලබා දිය යුතු උවත්,තවමත් රටේ ජනතාවගෙන් බහුතරයක ගේ චන්ද දෝලනය වනුයේ හොරු, තක්කඩි, ගංජා, හොර අරක්කු, එතනෝල් කුඩු ජාවාරම් කාරයින් අරක්ගෙන සිටින UNP සහ ශ්‍රී ලංකා එක ප්‍රමුක සන්ධානය අතරය. නමුත් මෙවර පෙළගැසී සිටින බලවේග දෙස බලන විට ජවිපෙට ආසන 15-20 අතර ප්‍රමාණයක් ලැබෙනු ඇත. ආසන තුනක් තබාගෙන පාර්ලිමේන්තුව හොල්ලපු ජවිපෙට, මන්ත්‍රී ආසන 15කට වඩා ලැබුනොත් මේ පක්ෂ දෙකෙන් සෑදෙන කුණු ආණ්ඩුව අල්ලේ නැටවීමට හැකිවනු ඇත...

    ReplyDelete
  11. මට නම් අවශ්‍ය මෙන්න මේ වගේ පාර්ලිමේන්තුචක්.
    එපාපෙ = 80
    එලජස = 80
    ජවිපෙ = 40
    ද්‍රජාස = 20

    ReplyDelete
  12. කොමෙන්ට් දැමූ සැමට ස්තුතියි!

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්