Followers

Tuesday, July 31, 2018

සීගිරි ගී ලියූ 'බතී' කවුද?

සීගිරි ගලේ බෙය`ද පාමුලින් දිවයන කැටපත් පවුර නමින් ප්‍රකට පුරාණයේ ඉදිකළ සුවිසල් බිත්තියේ ඇතුල් පැත්තේ ප්‍රධාන වශයෙන් සීගිරි කුරුටු ගී ලියා ඇත. සීගිරිය කලාගාරයක්‌ කළ කාශ්‍යප රජුගේ ඇවෑමෙන් සීගිරිය නරඹන්නට පැමිණි ජනයා විසින් සීගිරිය නැරඹීමෙන් ලද අත්දැකීම් කැටපත් පවුර මත කුරුටු ගෑහ. ස්‌වභාව සෞන්දර්ය සීගිරි සිතුවම් හා තම පෞද්ගලික ජීවන අත්දැකීම් ඔවුන් ලියූ ගීවල ප්‍රධාන වස්‌තු විෂයන් වී තිබේ. එකළ ලාංකීයයන්ගේ අධ්‍යාපන තත්ත්වය මෙන්ම සිංහල සමාජය පිළිබඳ හැදෑරීමට සීගිරි ගී තරම් සංනිදර්ශනයක්‌ තවත් නැත. එකී සුවිශේෂීතාවයන් කරණ කොටගෙන සීගිරි ගී සහිත කැටපත් පවුර විවිධ පර්යේෂකයන්ගේ පර්යේෂණාගාරයක්‌ බවට පත් වී තිබේ. මෙම ලිපියේ දී පළමුව සීගිරි ගී ලියෑවුණු කාලය, පර්යේෂණ ඉතිහාසය හා ගීවල අන්තර්ගතය පිළිබඳව විමසා බැලීමට නියමිත අතර අනතුරුව සීගිරි ගී ලියූ පැරුණි කාන්තාවන් පිළිබඳව සීගිරි ගී ඇසුරින් අධ්‍යයනය කිරීමට නියමිතය. 
 
 සීගිරි ගී පර්යේෂණ ඉතිහාසය සීගිරි කුරුටු ගී පිළිබඳව මුලින්ම අවධානය යොමු කළ පුද්ගලයා වන්නේ බ්‍රිතාන්‍ය ජාතික එච්. සී. පී. බෙල් මහතාය. නූතන ලෝකයට සීගිරිය කටු කොහොල් හරවා විවෘත කරන්නේ බෙල් මහතා වන අතර එතුමා සීගිරියේ අනෙකුත් පුරාවිද්‍යා කටයුතු මෙහෙයවමින්ම කුරුටු ගී පිළිබඳව ද අධ්‍යයනය කළේය. මේ පිළිබඳව ක්‍රි. ව. 1905 ඔහුගේ පුරාවිද්‍යා පාලන වාර්තාවල සඳහන් කොට ඇත. එහි සඳහන් වන පරිදි පවුරු බිත්තියේ දක්‌නට ලැබුණු ගී 10 ක්‌ කියවා පරිවර්තනය කොට ඔහු විසින් ඉදිරිපත් කොට තිබේ. බෙල් මහතාගෙන් පසුව ඔහුගේ සහයකයන් වූ ජෝන් ස්‌ටීල් සහ ඊ. ආර්. අයර්ටන් සීගිරි කුරුටු ගී අධ්‍යයනයට උනන්දුවක්‌ දැක්‌වුව ද දෙදෙනාගෙන් කවරෙකුටවත් කුරුටු ගී කියෑවීමට නොහැකි විය. 
 
 සීගිරි කුරුටු ගී වැඩි ප්‍රමාණයක්‌ කියෑවීමත් ඒවාට නිවැරදි අර්ථකතන සැපයීමත් පිළිබඳව ගෞරවය හිමිවන්නේ මහැ`දුරු සෙනරත් පරණවිතානයන්ට ය. සිය ජීවිතයේ වැඩි කාලයක්‌ ගත කළේ සීගිරියේ බවට එතුමාගේම වාර්තාවල සඳහන් කොට ඇති අතර එතුමා සීගිරි ගී පර්යේෂණ සඳහා මුල් වරට සම්බන්ධ වන්නේ ක්‍රි. ව. 1928 දී ය. සිංහල භාෂාවේ ඓතිහාසික විකාශනය පිළිබඳව අවබෝධයක්‌ ලබා ගැනීමට කුරුටු ගී උපයෝගී වෙතැයි සිතූ එතුමා ඒවා කියෑවීමට ඉමහත් උනන්දුවක්‌ දක්‌වා ඇත. එතුමාගේ පර්යේෂණවලට ලක්‌ වූ ඇතැම් ගී ස්‌වාභාවික හේතු මත විනාශයට පත් වෙමින් තිබිණි. එම දුෂ්කරතාවන් ජයගනිමින් පරණවිතාන මහතා බොහෝ කැපවීමකින් සීගිරි කුරුටු ගී 685 ක්‌ කියවා ඒවා ඇතුළත් කොට Sigiri Griffiti නමින් වෝඵම් දෙකකින් යුත් ග්‍රන්ථයක්‌ පළ කළේය. ඉන් එතුමා ලැබූ සතුට "මුලින්ම කුරුටු ගී සියයක්‌ කියවන්නට තිබූ අපේක්‍ෂාව දැන් කුරුටු ගී හත්සිය ගණනක්‌ කියෑවීමෙන් සම්පූර්ණ වී තිබේ" යනුවෙන් වචන වලට පෙරළා තිබේ. (පරණවිතාන 2000, 16 පිටුව) පරණවිතාන මහතාගේ පර්යේෂණ සීගිරි ගී ලෝක අවධානයට ලක්‌ වීමට හේතු වූ ප්‍රධාන කරුණක්‌ විය. එතුමාගේ අධ්‍යයනයන් ආශ්‍රය කොටගෙන විවිධ පර්යේෂණ හා ග්‍රන්ථ සිදු කළ අය අතර නන්දසේන මුදියන්සේ හා කේ. ජයතිලක වැනි විද්වතුන් ප්‍රධාන තැනක්‌ ගනී. 
 
 මෑත යුගයේ එවැනි සාර්ථක පර්යේෂණයක්‌ සිදු කළේ ආචාර්ය බෙනිල් ප්‍රියංකර මහතා විසිනි. එතුමා බෙල් මහතා විසින් කියෑවූ කුරුටු ගී නැවත කියවා වඩාත් විස්‌තර සහිතව ඉදිරිපත් කළේය. එතුමා විසින් Th Sttlmnt Archaology Of Sigiriya Dambulla Rgion නම් ග්‍රන්ථයේ පළමුවන කාණ්‌ඩයට කුරුටු ගී 53 ක්‌ ද එහි දෙ වන කාණ්‌ඩයට කුරුටු ගී 97 ක්‌ ද ඇතුළත් කොට ප්‍රකාශයට පත් කර තිබේ. ඉතා මෑත කාලයේ ද තවත් නව කුරුටු ගී කිහිපයක්‌ එතුමා විසින් කියවා ඇත. 
 
 කාලය
 
 දැනට සිදු කර ඇති ගවේෂණ හා කැණීම් අනුව සීගිරියේ ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගය දක්‌වා ඈතට දිව යයි. නමුත් සීගිරිය පිළිබඳව ඓතිහාසික මූලාශ්‍රයන් හි සඳහන් වන්නේ කාෂ්‍යප රජුගෙන් (ක්‍රි. ව. 475 - 497) පසුවය. ඔහු තම පියා වන ධාතුසේන රජතුමාව (ක්‍රි. ව. 459 - 475) ඝාතනය කිරීමෙන් අනතුරුව සීගිරිය ආශ්‍රිතව බලකොටුවක්‌ තනාගෙන එහි විසූ බව වංශකතාවල සඳහන් වේ. "කසුබ් නම් ඒ රජ තෙමේ.. මිනිසුන් විසින් නැංග නොහෙන ඒ (පව්ව) සිසාරා සුද්ධ කරවා, පව්රෙකින් පිරිකෙව් කොට එහි හිණි ගෙවල් සිංහයින් බඳු කොට කරවීය. එහෙයින් සීගිරි නම් වී.. එහි දැකුම් කටයුතු සිත් කලු "රජ ගෙයක්‌ දෙවෙනි අලව්මදාවක්‌ සේ කොට වෙසමුණු මහ රජ හු සෙයින් එහි විසීය.." (මහාවංශය, 39 පරි(, 1- 5 පෙළ)
 
 නමුත් සීගිරි ගී ලියෑවෙන්නේ කාෂ්‍යප රජුගේ කාලයෙන් පසුව එම ස්‌ථානය බලන්නට ආ පිරිස්‌ විසින් බවයි පර්යේෂකයන්ගේ අදහසවන්නේ. සීගිරි ගී ලියා තිබෙන කාල වකවානුව පිළිබඳව අදහස්‌ දක්‌වන සෙනරත් පරණවිතාන සූරීන් ක්‍රි. ව. 7 වැනි සියවසේ සිට ක්‍රි. ව. 13 වැනි සියවස දක්‌වා අතර කාලයේ මේවා ලියා ඇති බව ප්‍රකාශ කරයි. 
 
 සීගිරි කුරුටු ගී වල වස්‌තු විෂය
 
 සීගිරි ගී ලියූවන් අතර රාජකීයයන්, රාජ්‍ය නිළධාරීන්, ප්‍රාදේශීය පාලකයන්, කාන්තාවන්, වෛද්‍යවරුන්, ගුරුවරුන්, වෙළෙඳුන්, යුධ සෙබළුන්, සාමාන්‍ය ජනයා හා භික්‍ෂූන් ද වෙයි. "මපරුම ගී" (143) යනුවෙන් ස`දහන් ගීයෙන් රජ කෙනෙකු ගැන ස`දහන්ව ඇත. අංක 667 ගීSයෙහි පළමු වන උදය රජුගේ නාමය ඇතුළත් බව විද්වතුන් පවසයි. මීට අමතරව රියන්දල (463) හෙවත් හFථදාඨ රජු විසින් ලියන ලද ගීයක්‌ හා මිහිදල් දාපුල, කසබල් අග්ගබෝධි ආදී කුමාරවරු ලියන ලද ගී ද හඳුනාගත හැකිය. පස්‌වන කාෂ්‍යප රජුගේ බිසවක්‌ වන සංඝා (504) නැමැත්තිය ලියන ලද ගීයක්‌ ද වේ. යහන ගොව් (සී. 173), දාස අධිකාරී (652) නියම් ජෙටු (49) පසක්‌කැමි (315) ඔල් කැමි (375) රාජචෙද්දන (522) පයමුල්ලෙයිදරු (119/320) අරකලේ (151) කැතිරි (557) වාසල ආරක්‍ෂක (12) මාඩැබි (221) පොයල් යුද සෙනවි (සී. 74), කිත් සෙනවිරඳුන් (සී. 168) ආදී රාජ්‍ය සේවකයන් ද වෙනජ කිතලු (සී. 203) ආදී වෙළෙන්දන් ද කණ්‌ණා (සී. 99), වජිරා (සී. 149) වැනි කාන්තාවන් ද කරල්නා පිරිවෙන් වැසි සිරිනා හිමි (සී. 130) ඇතුළු පැවිද්දන් ද ගී ලියූවන් අතර වේ. 
 
 සාමාන්‍ය ජනයා ස්‌වකීය සුපුරුදු ජීවන වෘත්තීන්හි නියෑළෙන අතර වාරයේ විවේකය පිණිස සීගිරිය නරඹන්නට පැමිණෙන්නට ඇත. ඔවුන් තමන් එදිනෙදා ජීවිතයේදී අත්විඳි කෘෂිකාර්මික අත්දැකීම් කවි සිතුවිලි තුළ මුදාහැර තිබේ. ඒ අනුව කොමුල් අමඩ් ලෙඩි ලිනසී.. (105) වැට්‌කොල් මල් සෙයි.. (334) යන ගී පදවල එන කොමඩු, වැටකොලු ආදිය පලතුරු හා එළවළු වශයෙන් එකළ වගාකරන්නට ඇතැයි සිතිය හැකිය. 
 
 සීගිරි පද්‍යය ගී විරිතට පමණක්‌ සීමා වී නැත. එහි එළිසම පද්‍යයනුදු ඇති බව පෙනේ. (ධම්මානන්ද හිමි, 5 පිටු) යාගී, කව්ගී, දුව`ගගී, යොන්ගී ආදී විරිත්වලින් බඳනා ලද ගී සීගිරි පද්‍යවල දැකගත හැකිය. එසේම සමුදුරුගොස්‌ වැනි විරිත්වලින් සුසැදි පද්‍ය එහි දක්‌නට ලැබේ. එසේම බොහොA ගී ලියා ඇත්තේ මධ්‍යකාලීන සිංහලෙනි. සංස්‌කෘත භාෂාවෙන් ලියූ කවියක්‌ හා දෙමළ බසින් ලියූ කවියක්‌ ද හඳුනාගෙන තිබේ. 
 
 සීගිරිය ආශ්‍රිත ස්‌වභාව සෞන්දර්ය මෙන්ම විශේෂයෙන් සීගිරියේ බෙයදෙහි ඇඳ ඇති ලළනාවන් පිළිබඳව ලියූ ගී එම පවුරෙහි ඇත. සිතුවම් කොට ඇති සීගිරි ළඳුන් පිළිබඳ ගුණ වර්ණනා කර තිබෙන ගී වැඩි වශයෙන් දක්‌නට ලැබේ. එම සිතුවම්වල නිරූපිත කාන්තාවන්ගේ රුව - ගුණ වර්ණනා කරන්නට ගී තුළින් උත්සාහ දරා ඇත. මෙහිදී විශේෂයෙන් අප අවධානය යොමු කරන්නේ සීගිරි ගී අතර ඇති කාන්තාවන් විසින් ලියන ලද ගී පිළිබඳවයි.
 
 සීගිරි ගී ලියූ පැරුණි කාන්තාවෝ
 
 පෙරදිග ශිෂ්ටාචාරයේ ආරම්භක අවධියෙහි එනම් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙහි මාතෘ මූලික සමාජ තත්ත්වයක්‌ පැවති බවට පුරාවිද්‍යාත්මක සාධක හමුව තිබේ. නමුත් භාරතීය Rග් - වෛදික යුගය වන විට කාන්තාවට හිමිව තිබූ ආගමික, මෙන්ම සමාජීය පිළිගැනීම කෙමෙන් දුර්වල වෙමින් පැවතුණි. බ්‍රාහ්මණික ඉගැන්වීම් ඊට අනුබල දුන්හ. ස්‌ත්‍රීය චපල, විශ්වාස කළ නොහැකි, රාක්‍ෂියක්‌ බඳු තැනැත්තියක්‌ බව ඔවුන් ඉගැන්වූහ. ශ්‍රී ලාංකීය සමාජය එකී භාරතීය බ්‍රාහ්මණ ඉගැන්වීම් දැඩිව ග්‍රහණය කරගත් බවක්‌ දක්‌නට නොලැබෙන අතර බුදුදහම හඳුන්වාදීමෙන් අනතුරුව මෙරට ස්‌ත්‍රීයට සමාජයේ ලැබිය යුතු නිසි තැන ලැබිණි. දියණියක්‌, බිරිඳක්‌, මවක්‌ වශයෙන් මෙන්ම උපාසිකාවක්‌, භික්‌ෂුණියක්‌ වශයෙන් ද කාන්තාවට පිළිගත් සමාජීය තත්ත්වයක්‌ පැවති බව පෙනේ. ඉහත කරුණු සනාථ කෙරෙන වැදගත් සාධක රැසක්‌ අතරින් සීගිරි ගී ප්‍රධානය. ඒ අනුව රජරට සංස්‌කෘතියෙහි කාන්තාවගේ සමාජ තත්ත්වය හා සමාජ දායකත්වය පිළිබඳව අවබෝධයක්‌ ලබාගත හැකි කැඩපතක්‌ වශයෙන් සීගිරි ගී පෙන්වා දිය හැකිය. 
 
 කාන්තාවන් විසින් ලියූ ගී නවයක්‌ මේ වන විට හඳුනාගෙන ඇති බව සීගිරි කුරුටු ගී පිළිබඳ පර්යේෂණ කළ උගතුන් පෙන්වා දෙයි. එම ගී ලියූ නව දෙනාගෙන් හත් දෙනකුම තමන්ව හඳුන්වා ඇත්තේ බිරිඳක්‌ ලෙසය. ඒ බව 247, 504, මෙන්ම 681 ආදී සීගිරි ගී වලින් පැහැදිලි වේ.
 
 මෙහි අබු, අම්බු, අබුයු යන වචන වලින් බිරිඳ, අඹුව අර්ථවත් වන අතර විශේෂයෙන් ඔවුන් ස්‌වාමි පුරුෂයන්ගේ නම් පළමුව සඳහන් කොට අනතුරුව තමන් ඔහුගේ බිරිඳ බව සඳහන් කරති. මේ මඟින් එකල විවාහ වූ කාන්තාවක්‌ තම ස්‌වාමියාට දැක්‌වූ ස්‌වාමි භක්‌තිය හා ඇයට උරුමව තිබූ විවාහ ජීවිතයේ ස්‌වභාවය හඳුනාගත හැකිය. මීට අමතරව සිංහල කාන්තාවගේ සාම්ප්‍රදායික කුල සිරිත් ද මෙයින් ප්‍රකට වේ.
 
 සීගිරි ගී රචනා කළ කාන්තාවන්ගෙන් වැඩි පිරිසක්‌ උසස්‌ සමාජ මට්‌ටම්වල ජීවත් වූ අය බව සිතිය හැකිය. ඒ බව මහාමාත්‍යවරයකුගේ බිරිඳක්‌ විසින් රචනා කර ඇති ගීයෙන් ද "ආර්යාව" නම් අභිධානය හෙබ වූ කාන්තාවක්‌ විසින් ලියූ ගීයෙන් ද, "සහල්" නම් රැජිනකගේ වංශයෙන් පැවත එන පුරුෂයකුගේ භාර්යාවක්‌ විසින් ලියූ ගීයෙන් ද තහවුරු වේ. කාන්තාවන් විසින් ලියන්නට ඇතැයි සැළකෙන ඇතැම් කුරුටු ගීයක "බතී" යන අභිධානය ද ඇතුළත් වේ. බොහෝ විට එකළ පුරුෂයන් ද මෙම අභිධානය බහුලව භාවිතා කර තිබෙන බැවින් ඇතැම් ගීත රචනා කළේ පිරිමියෙක්‌ ද ගැහැණියක්‌ද යන්න පවා තීරණය කිරීම අපහසුය.
 
 72 සීගිරි ගීයෙහි සීගිරිය නැග මේ දේ සිහිකර ගීයක්‌ ලියන "මෙමා බතී වෙමි ජනයන්ගේ නෙත සිත පැහැර ගන්නා කාන්තාවන්ට ගීයක්‌ නැත" යනුවෙන් දක්‌වා ඇත. (මම) බතී වෙමි (මෙය මගේ) ගීයයි. "බෙයදෙහි කතුන්ගේ සිරිබරින් ද නුවන් නැමති මිණියෙන් නිකුත් සෝභාව ඇය අභියස ගැසූ හෙයින් ද අඟනක්‌ මෙය ලීවාය" යන්නෙන් 87 වැනි ගීය ලියූ කාන්තාව තමන් අඟනක්‌ බව හඳුන්වා දෙමින් "බතී" යන අභිධානය භාවිතා කර ඇත්තේ ඇය තම අනන්‍යතාවය නිරවුල්ව ඉදිරිපත් කිරීමේ අරමුණින් විය හැකිය. කෙසේ වෙතත් මෙම අභිධානය එකළ සමාජයේ ප්‍රධානීන් හැඳින්වීම සඳහා භාවිතා කර තිබෙන බව උගතුන්ගේ මතය වන අතර එසේ නම් සමාජයේ ප්‍රධානත්වයක්‌ කාන්තාවද නියෝජනය කළ බව මෙම ගී වලින් තහවුරු වේ.
 
 සීගිරි ගී ලියූ
 
 සාමාන්‍ය ගැමි කාන්තාවන් ලෙස හඳුනාගත හැකි දෙදෙනෙක්‌ ද සීගිරි ගී ලියා තිබෙන බව අභිධානයක්‌ හෝ එවැනි විශේෂ හැඳින්වීමක්‌ නොමැති ගීත දෙකකින් තහවුරු වේ. 99 සීගිරි ගීයට අනුව කණ්‌ණා නැමැත්තිය එහි මෙසේ ලියා තිබේ. සංසාරය කාන්තාරයක්‌ බව, මිනිසත්බව දුර්ලභ වන බව යන කිසිවක්‌ නොදන්නවුන් සිටිති. මරණයට ඇලුම් නොවන්න. කණ්‌ණා නැමැත්තිය වන මම මෙය ලීමි" යනුවෙනි. තලල්ලේ ධම්මානන්ද හිමියන් පවසන්නේ මෙම ගීය ලියූ කාන්තාව ප්‍රතිභා පූර්ණ කිවිඳියක විය හැකි බවයි. කවියේ සඳහන් පරිදි ලොව යථාර්ථය මැනවින් විවරණය කළ හැක්‌කේ පටිභාන ශක්‌තියක්‌ ඇති එවැනි කවියකුට බව උන්වහන්සේ තවදුරටත් පෙන්වා දෙයි. මෙකී සාධකවලින් අනාවරණය වන තවත් කරුණක්‌ වන්නේ එකළ කාන්තාවගේ අධ්‍යාපන තත්ත්වය යම් මට්‌ටමක තිබූ බවයි. භික්‌ෂූන් විහාරාරාම ආශ්‍රිතව ගිහි පිරිමි පක්‌ෂයට හා භික්‌ෂුණීන් ගිහි කාන්තා පාර්ශ්වයට අධ්‍යාපනය ලබා දුන් බවට සාධක හමුවේ. ආගම ඇසුරේ ලද ජීවිතාවබෝධයත්, උගත්, දක්‌ෂ ඇඳුරන් ආශ්‍රයෙන් ලැබූ කාව්‍යකරණ පරිචයත් ඉහත දැක්‌වූ ප්‍රතිභාපූර්ණ කිවිඳියන් එකළ බිහි වීමට හේතුවූවා යෑයි සිතිය හැකිය.
 
 තවත් එක්‌ සීගිරි ගීයක සිතුවම් නරඹා ඇය තමා තුළ ඇති වූ හැඟීම් විස්‌තර කරන්නේ කාන්තාවන්ගේ ස්‌වාමි භක්‌තිය ද සිහිපත් කරමිනි. ඇය නිරිඳු හිමියන්ගෙන් වියෝ වූ හෙයින් බෙයදෙහි රන්වනුන් ශෝකයෙන් මියයන්නෙමියි කියමින් ගල මුදුනින් පනින්නට සැරසෙන බව උතුර්ගේ භාර්යාව වූ සිව්කල" නම් කාන්තාව කියයි. එහි දී එම කාන්තාව සීගිරි අඟනුන් ආමන්ත්‍රණය කර ඇත්තේ ද්‍රෝහී කතුනි" යනුවෙනි. ඇතැම් විට මෙම අදහස ඇයට එන්නට ඇත්තේ සීගිරි කාශ්‍යප රජතුමාගේ විනාශයට අන්ත(පුර ස්‌ත්‍රීන් හේතු වූවා යෑයි එකළද යම් සමාජ මතයක්‌ තිබූ නිසා විය හැකිය. තවද දේවානම් කිවිඳියක විසින් ලියූ කවියක සීගිරි ළඳුන් හැඳින්වීම සඳහා "සෙපත" හා සෙවතක" ආදී නම් භාවිතා කර තිබේ. එම වචන සංස්‌කෘත භාෂාවෙන් සපත්නි හෙවත් සහකාර අඹුව ලෙස අර්ථ දක්‌වා තිබේ.
 
 සීගිරිය මෙසේ රජරට ශිෂ්ටාචාරයේ මධ්‍යකාලීන සමාජය තුළ කාන්තාවගේ අදහස්‌, උදහස්‌, ඇවතුම්, පැවතුම් මෙන්ම කාන්තාවගේ පෞද්ගලික හා පොදු අගයන් ද සීගිරි ගී අධ්‍යනය තුළින් හඳුනාගත හැකිය. එකළ කාන්තාව සාම්ප්‍රදායික කුල සිරිත් අගය කර තිබේ. අභිධානයක්‌ සහිතව සමාජ ප්‍රභූත්වයක්‌ උසුලා තිබේ. බෞද්ධ ආරාමික මධ්‍යස්‌ථාන හරහා අධ්‍යාපනික දැනුමෙන් ද පොහොසත් වූහ. ඒ අනුව සීගිරි ගී ඇසුරින් එකළ කාන්තාවට හිමිව තිබූ ආගමික, සාමාජික, සංස්‌කෘතික නිදහස මනාව ප්‍රදර්ශනය වේ.
ඒ. එම්. එස්‌. යූ. රත්නපාල 
 මාළිගාවිල වැඩබිම,
 මොණරාගල ව්‍යාපෘතිය
 මධ්‍යම සංස්‌කෘතික අරමුදල
 sanjwakumara609@gmail.com
 
 ආශ්‍රිත ග්‍රන්ථ
 
 අමරසිංහ, මාලිංග. සීගිරිය ලෝක උරුමයක වගතුග, දයාවංශ ජයකොඩි සහ සමාගම, කොළඹ, 2005.
 
 ගුණවර්ධන, ප්‍රිශාන්ත. සීගිරිය ආරාමික පුරාවිද්‍යාව, කතෘ ප්‍රකාශන, කොළඹ. 1998.
 
 ජයතිලක, කේ. සීගිරි ගී, සංස්‌කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, කොළඹ. 1996.
 
 ජයතිලක, කේ. සීගිරි ගී නිර්මාණ, ප්‍රදීප ප්‍රකාශකයෝ, කොළඹ. 1996.
 
 ධම්මානන්ද හිමි, තලල්ලේ. සීගිරි පද්‍ය, අභය ප්‍රකාශකයෝ, කොළඹ. 1983.
 
 මුදියන්සේ, නන්දසේන. සීගිරි ගී ප්‍රථම භාගය, සී/ස ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ. 1963. 
 
 මුදියන්සේ, නන්දසේන. සීගිරි ගී ද්විතීය භාගය, සී/ස ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ. 1963.
 
 ලොකුබණ්‌ඩාර, වි. ජ. මු. සීගිරි ගී සිරි, ඇස්‌. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ. 2004.
 
 ආශ්‍රිත ලිපි ලේඛන 
 
 අමරසිංහ, මාලිංග. පරණවිතාන හා සීගිරිය, සංස්‌කෘතික පුරාණය, 1992, ඔක්‌තෝම්බර් -දෙසැම්බර් කලාපය, පි. 28, මධ්‍යම සංස්‌කෘතික අරමුදල.
 
 බිනරගම, දයානන්ද. සීගිරි කැටපත් පවුරේ කුරුටු ගෑ චිත්‍ර, සංස්‌කෘතික පුරාණය, 1993, ජූලි - දෙසැම්බර්, 1 වෝඵම, 7 කලාපය, මධ්‍යම සංස්‌කෘතික අරමුදල.
 
 රණවැල්ල, සිරිමල්. සීගිරි ප්‍රදේශයෙන් හමු වී ඇති ශිලා ලේඛන, සංස්‌කෘතික පුරාණය, 1992, ජූලි - සැප්තැම්බර් කලාපය, මධ්‍යම සංස්‌කෘතික අරමුදල. 
 
 රණසිංහ, සුමිත්. සැ`ගවුණු උරුමය හෙළි කරන සීගිරි කැටපත් පවුර, කෞතුකාගාර, 6 වැනි කලාපය, 2000, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, කොළඹ. 
 
 Survy of Cylon, Annual Rport Archaological, 1905.
 
 Paranavithana.S,Sigiri Griffiti,Vol 1 and Vol 11,Govrnmnt Of Cylon,1956.
 
 Th Sttlmnt Archaologi Of th Sigiriya Dambulla Rgion Th Post Gradu at Institut of Archaologycol,1990'

3 comments:

  1. මොකද බතීට බතී මතක් වෙලා

    ReplyDelete
  2. අනුරාධපුර කාලෙ රජකම කියන එක ග්‍රීක් හෝ සමහර ඉන්දියන් මොඩ්ල්වලට සමානවෙන්න ඇති නේද? නායකයෙක් ලෙස සැලකුවාට ඕනෙවට වඩා වැඳීම් පිදීම් නැතිවෙන්න ඇති. යටත් වැසියාත් සාමාන්‍ය තරමේ ඩිග්නිටි එකකින් ඉන්න ඇති. සෑහෙන දෙනෙකුට ලිවීමේ කියවීමේ හැකියාවත් තියෙන්න ඇති. රජු දේවත්වයෙන් සැලකීම, දිගාවී වැඳීම ආදී දේවල් සහ tyrant කෙනෙක් වීම රාජධානි පිරිහීමත් සමග එන්න ඇති. දුර්වලම රාජධානිය වූ මහනුවර යුගයේ ඉතා නොදියුණු විදිහට රජුන්ට අතිශයෝක්තියෙන් වැඳුම් පිදුම් කලානෙ. මිනිස්සුන්ගේ ඩිග්නිටි හා ඉගනීමත් පහත් තත්වයකනෙ තිබුනෙ (ඔබගේ අදහස දැනගැනීමට කැමතියි.)

    ReplyDelete
  3. එදා බතී සීගිරි ගලේ ගී ලිව්වා.
    මෙදා බතී goo-gale බයිලා ලිව්වා.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්